“ජීවිතේ මේ වගෙයි.” – Part 36

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 40 ක්. ඇගේ ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ ආදරණීය පවුලේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 36 කොටස

“ඔවු සමුදිතා. මම ඔයාට කියන්න හිටියේ. “

ඔහු ඇගේ දෙනෙත මගහැර නළල දිහා බැලුවේ ඇයට මුහුණ දෙන්න අපහසු නිසා.

“ හැමදේම පැහැදිලි කරන්න වුවමනා නැහැ. කතාව මම කෙටියෙන්ම කියන්නම් කෝ ” ඔහු මදක් හති ඇරියා. කාර්යාලයේ තිබෙන මීටින් එකක් වගේ ඔහුගේ නලලෙන් දාඩිය වැක්කෙරෙන්න පටන් ගත්තා.

“ සමුදිතා…. ඔයා දැන් ජීවිතේ ඉහළට ගිය කෙනෙක්. ඔයා ගොඩක් දක්ෂයි. ඔයා දරුවෙක් හදන්න කියන තීරණේ ගත්තු එක හොඳයි. මම අවුරුදු පහක ඉඳලා ඔයාට කන්නලවු කරා. නමුත් ඔයා ඒ ගැන සැලකුවේ නැහැ. දැන් නම් පරක්කුයි. නමුත් පරක්කු වෙලා හරි වරද තේරුම් ගත්ත එක ලොකු දෙයක්. හැබැයි දැන් නැති වුන දේවල් වෙලා ඉවරයි.”

දැන් නම් සමුදිගේත් ඉවසීමේ රතු ඉර පෙනෙමින් තිබ්බේ.

“ කෙලින් කියන්න තාරික වටේ යන්නේ නැතුව” ඇය ටිකක් උස් හඬින් කිවුවා.

“ මේ මට හයියෙන් කතා කරන්න මේක ඔයාගේ ෆැක්ටරිය නෙවෙයි. ඒ නිසා සද්ද නැතුව අහගෙන ඉන්න ” ඔහු දරුණු ලෙස ඈ දෙස බැලුවා. සමුදී කට පියා ගත්තා.

“ අපි දෙන්නා මේ ගෙදර තව දුරටත් එකට සිටිය යුතු නැහැ ” තාරික කියාගෙන යනවා.

“ මම කොහේ යන්නද? සමුදිත් වේදනාවෙන් අහනව.

මදක් නිමුන තාරික කියනවා. “ ඔයා කොහෙවත් යන්න වුවමනා නැහැ. ඔයා මෙහෙ පුතාල දෙන්නයි. යෝෂිතයි එක්ක ඉන්න. මම යන්නම්. මම කියන දේ ඔයාට තේරෙනවද? අපි දෙන්නා නීතියෙන් වෙන් වෙමු. මම පුතාල වෙනුවෙන් සියලුම යුතුකම් කරනවා. මේ ගෙදර ඔයාට ලියන්නම්. හැබැයි මේ දේ දරුවන්ට බලපෑම අවම වෙන විදිහට කරන්න ඕනේ…..

සමුදි පිහි පාරක් කෑවා වගේ බිරන්තත්ත වෙලා අහගෙන ඉන්නවා. ඇයට කිසිම අදහසක් හිතට එන්නේ නැහැ. කම්පනය නිසා. මේ මොනවද වෙන්න යන්නේ බිත්ති පා වෙනවා වගේ… වැන්ඩා සිරුලියා කියන දුර්ලභ ඕකිඩ් මල ගින්දරක් වෙලා ඇයට සරදම් කරනවා වගෙයි.

සමුදී එකඟ වුනා කියල සැහැල්ලුවෙන තාරික ඉතුරු ටිකත් කියනවා.

“ මම දන්නවා ඔයා ගොඩක් බුද්ධිමත් කෙනෙක්. ඔයාගේ දක්ෂකම නොවෙන්න මම අද මෙතන නැහැ. කරපු හැමදේම මට මතකයි. දැන් අපි දෙන්නා ආයෙත් ආදරේ කරන්නේ නැහැ. නමුත් ඒ නිසා දරුවන්ට වෙන හානිය අවම කළ යුතුයි. ඔයාට මම නැති වුනාම වැඩ වලට ගොඩක් ලේසි වේවි.”

මේ කිසිම දෙයක් සමුදිට ඇහුනේ නැහැ. ඇය කල්පනා කලේ මේ තමා ඉන්නේ හීනයක මැදද කියල? මේ භයානක හීනෙන් තමා ඉක්මනට නැගිටීවි කියල ඇය කල්පනා කළා. එහෙනම් හෙට සිට තාරික ගෙදර නැහැ. සමහර විට අද රෑට ගංවතුරක් ගලලා සේරම බිත්ති කඩාගෙන වැටිලා අපි හතර දෙනාම මැරෙයි. එහෙම වෙන එක නම් හරිම හොඳ වැඩක්. මොකද එතකොට අපි මැරෙනවා….. මෙවැනි විකාර සිතිවිලි ඔලුවට එන්නේ මනුස්සයෙක්ට දරන්න බැරි තරම් දැඩි දුකක් එද්දිම විතරයි.

ඒ එක්කම ඇය යාන්තමට හිනා වුනා. තමන්ගේ ගෙදර සුන් බුන් අසල් වැසියෝ හොයනවා ඇයට චිත්‍රයක් වගේ මැවුනා. ඇගේ හිනාව දැකපු තාරික හිතුවේ ඇය කතාවට එකඟ වුනා කියල.

“මගේ ලෝයර් හෙට ඔයාට කතා කරාවි. මට වඩා ඔයා පොහොසත්. ඒ නිසා මගෙන් මුකුත් ඔයාට ඕනේ නැහැ නේද?” ඔහු ඇයගෙන් ඇහුවේ හිතවත්ව.

ඇය තාරික එක්කන් ඇගේ ගෙදර තිබුන කාර්යාල කාමරයට ගියා, තාරික ඇගේ පිටුපසින් ආවා. ඔහු හිටියේ පුදුමයෙන්. ඇය ඇගේ කබඩ් එක ඇරලා සීල් එකයි චෙක් පොතයි ගත්තා. ඉන් පස්සේ අත්සන් තියලා හිස් චෙක් එකක් ලියුවා. ලියල තාරිකගේ අතේ තියද්දි තාරික “ඇයි? මේ” කියල ඇහුවේ පුදුමයෙන්.

“ තාත්ති මේ සේරම සල්ලි ගන්න. ඔයා යන්න එපා. “ ඇය කිවුවේ කඳුළු බින්දුවක්වත් නැතිව. ඒ වේදනාව වැටහුන තාරිකගේ දෙනෙතත් ලාවට තෙත් වුනා.

ඔහු ඇගේ අත අල්ලාගෙන නැවත උද්‍යානයට ගියා. පරිසරය නිහඩයි.

“ මම ඔයාට වංක වෙන්න ඉගෙන ගත්ත මිනිහෙක් නෙවෙයි. නමුත් ඔයාට මම කියන්නම්. මේ කතාව ඔයා මගෙත් එක්ක මාස තුනකට කලින් කරා නම්, මම සතුටු වෙනවා. මොකද මට දැන් ආපහු හැරෙන්න බැරි දෙයක් සිදු වෙලා තියෙන්නේ”

එවර ඇය සිහියට එනවා.

මොකද්ද වුනේ?

සමුදිතා මම පහුගිය අවුරුද්දම ඔයාගෙන් ගොඩක් ඈත් වෙලා හිටියේ. ඒක ඔයාට දැනුනේ නැහැ ඔයාගේ වැඩ ඔයාට ලොකු නිසා. ඉතින් මම ඔය අතරේ වෙන කෙනෙක්ට ලං වුනා. ඔයාව මගේ හිතෙන් අයින් වුනා. දැන් ඇයට දරුවෙක් ලැබෙන්න. මේක ආපස්සට හරවන්න මට බැහැ. මේ දරුවෝ දෙන්නා වගේම ඒ දරුවා ගැනත් මම හිතන්න ඕනේ. ඔයා ගැන වගේම එයා ගැනත් හිතන්න ඕනේ. ඔයා ශක්තිමත් ගැහැණියක්. මම හිට්යා නැහැ කියල ඔයාට වෙනසක් නැහැ. නමුත් එයා එහෙම නැහැ. එයාට මාව ඕනේ. මටත් එයාව ඕනේ.

ඒ සේරම ඉක්මනින් … දරුවා ඉපදෙන්න පෙර පිළිවෙලක් කළ යුතුයි.

කවුද ? ඇයගේ පළමු ප්‍රශ්නය වුනේ ඒක.

කවුද කියා මම කියන්නම්. ඊට පෙර අපි දෙන්නා මේක විසදා ගත යුතුයි.

ටිකක් කල්පනා කරන ඇය…. “ මම ඔයාට හෙට උත්තරයක් දෙන්නම් ” කියා නැගිටිනවා.

ඇය කෙලින්ම ඇගේ කාමරය ඒ කියන්නේ ඔවුන් දෙන්නගේ යුගල යහන තිබෙන කාමරය වෙත යනවා. තාරික සුපුරුදු ලෙස ඔහු ළඟදී සිට පදිංචි වුන පහල තට්ටුවේ කාමරයට යනවා.

(ලබන සතියට)