“ජීවිතේ මේ වගෙයි.” – Part 35

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 40 ක්. ඇගේ ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ ආදරණීය පවුලේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 35 කොටස

සමුදී තනිවම විශේසඥ වෛද්‍යවරිය හමුවෙන්න ගියා. මවක් වගේ ඇය කාරුණිකයි. ප්‍රශ්න අහලා ඇය තීරණය කළා තාරිකව ඖශධ සහ උපදේශන දෙකටම ගෙන ආ යුතු බව. ඇයගේ නිගමනය වුනේ සමුදිගේ ජයග්‍රහණ එක්ක ඇති උන හීනමානය නිසා තාරික විශාදය නැත්නම් depression තත්වයට පත් වී ඇති බවයි. ලොකු හාමිනේ ඔහුව හදපු දැඩි අවධානය සහ ආරක්ෂාවත් ඔහුගේ මේ පෞර්ෂ අක්‍රමිකතාවයට හේතු වුන බව ඇය නිගමනය කළා. දැන් ඉතින් කොහොමද ඔහුව සායනයට ගේන්නේ?

තාරිකගේ හිත හදන්න ඕනෙම දෙයක් කරන්න ඇය මැලි වුනේ නැහැ. ඔහු හැසිරුනේ හරියට සමුදිගෙන් පලිගන්න වගේ. හැම දුකෙදීම ඇය එක්ක අත්වැල වූ ඔහු හදිස්සියේ පස්සට වුනාම අතහැර දමන්න සමුදිට පුලුවන්ද?

බැහැ. කොහෙත්ම බැහැ. මම මේ සේරම පිළිවෙලක් කර ගන්නවා ඇය කල්පනා කළා. යෝෂි යෙහෙලියක් වගේ ළඟ හිටපු එක සමුදිට ලොකු සහනයක් වුනා. ඇය වැඩි දුර ඉගෙන ගන්න පරිඝනක පන්තියකට යවන්න සමුදී තීරණය කළා. නිසි වයස ආවහම කොල්ලෙක් හොයලා බන්දන්න ඕනේ. මේ හැමදේම ඇගේ සිතේ වැඩ කළා. වෛද්‍යවරයෙක් ලඟට තාරික ගෙනියන්න නොහැකි වුන තැන සමුදී තීරණය කලේ මේ සේරම අස්සේ… තමාගේ වයස එක්ක වෛද්‍ය උපදෙස් ලබා තව දරුවෙක් බිහි කරන්න ඕනේ කියල. අවුරුදු 40 ක් වුනත්, මට කොච්චර අමාරු වුනත් දුවෙක් නිසා තාරික තමා සමග ඇති අමනාපය දුරු කර ගනී කියල සමුදී කල්පනා කළා.

ඇය ඔහුට දුරකතනයෙක් කතා කලේ ඒ ගැන කියන්න.

“තාත්ති … මම කැමතියි තව දරුවෙක් හදන්න. අපි ඉක්මනින්ම ඩොක්ට කෙනෙක් ගාවට යමු. “ ඇය කීවේ මෙයින්වත් ඔහුගේ හිත නිවේවි කියලයි

අනික් පැත්තේ දීර්ඝ නිශ්ශබ්දතාවයක්…..

“දැන් පරක්කු වැඩියි” තාරික කීව.

මේ හතර බීරි කතාව සමුදිට තේරුනේ නැහැ. ඔහු තමා මේ මහලු වයසේ දරුවෙක් හදන්න කියල වසර ගානක සිට ඇය සමග කළහ කළේ. නමුත් දැන් තමා එකඟ වුනාම ඔහු එයට පරක්කු වැඩියි කියනව.

“ නැහැ තාත්ති…දැන් ගොඩක් දරුවෝ වයස පැනලා ඉපදෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මේ සේරම වුනේ දුවෙක් නිසානේ. ඕනේ නම් මම කොම්පැනිය වහලා දාන්නම්. “ ඇය බිඳෙන ඉකිය මැඩගත්තා. තාරිකත් කම්පනයට ලක් වෙලා බව ඇයට වැටහුනා.

“මම මේ සේරම කලේ තාත්තිගේ කැමැත්තෙන්. එදා ඉඳල ඔයාටයි දරුවෝ දෙන්නටයි හොඳ කරන්න මම උදේ සිට මහන්සි වුනා. ඔය තුන් දෙනා නැතුව මට මේ දේවල් මොකක්වත් එපා… කියමින් ඇයගේ ඉකිය ලොකු වැලපීමක් වෙලා දෝරේ ගැලුවා. මමත් මනුස්සයෙක් තාත්ති… මම වැඩ කරනවා.. මම කෙලින් ඉන්නවා මට මේ ගේ ඇතුලේ වෙන කුහකකම් දරාගන්න බැහැ තව එක දවසක්වත්…. “ ඇය කඳුළු බේරමින් කියාගෙන ගියා.

“ සමුදිතා… සමුදිතා…. දැන් අඬන්න එපා” තවත් පහරක්…. සාමාන්‍යයෙන් තාරික ඇයට සමුදිතා කියන්නේ නැහැ. ඒ ආමන්ත්‍රරණයේ ඇත්තේ ඉතාම දුරස් බවක් බව ඇයට වැටහුනා.

උඹ තව දුරටත් මගේ හදවතේ නැහැ කියන පණිවිඩය ඇයට දැනුණා. ගැහැණියක වුන ඇගේ ඉවට දැනුණා යම් කියාගත නොහැකි විනාශයක පෙරනිමිති. වෙන දවසක නම් ඔහු කියාවි “ අම්මි පැටියෝ.. දැන් අඬන්න එපා කියල” නමුත් අද ඒ ආමන්ත්‍රණය පවා දුරස්තයි.

ඔයා අද කලින් එනවද? සමුදී ඔහුගෙන් ඇසුවා.

“ඔවු මට ඔයා එක්ක වැදගත් දෙයක් තියනවා කතා කරන්න.” කියපු තාරික දුරකථනය විසන්ධි කළා.
එදා ඇය තමාගේ අතින්ම ඔහුට රසට ඉන්දියානු ආහාර වේලක් හැදුවා. කොතරම් කාලෙකින්ද? ඇය කුස්සියට එනවා දැක්ක යෝෂි පුදුම වුනා. සේරම හදලා දරුවෝ තුන් දෙනාම වේලපහින් කන්න දීල කාමර වලට දැම්ම ඇය වයින් එකක් සූදානම් කරලා තාරික එනතුරු බලා සිටියේ බොහොම ආශාවෙන්. නමුත් ඔහු ආවේ රාත්‍රී 9 ත් පහු වෙලා.

නමුත් ඔහුට කිසිම අමනාපයක් නොපෙන්වන්න සමුදී පරිස්සම් වුනා. ඔහුට නාගෙන එන්න ඉඩ දීල ඇය පහත මාලයේ කුඩා උද්‍යානයේ වාඩි වෙලා හිටියා, උණුසුම් තණකොළ සුවද ඇගේ නැහැ පුඩු ඇතුලට ගමන් කරනවා. ඒ එක්කම දරුවෙක් ලබන්න තමාගේ ඇඟ දැන් ශක්තිමත්ද ඇය කල්පනා කළා.

උද්‍යානය ඉතාම ලස්සනයි. සමුදී ඒ වෙනුවෙන්ම වෙනම මනුස්සයෙක් ගෙනත් තිබ්බේ. ඇයට මේ උද්‍යානයේ සිරි දකින්නත් විඳින්නත් ලැබුනේ කාලෙකින්. ඇය ඒ ගැන කල්පනා කරමින් ඉද්දි තාරික ආවා.

“මේ බලන්න තාත්ති .. මේ ජෙරනිමූස් මල් වල ලස්සන. මම අදනේ දැක්කේ”

“ඕවා පිපිලා ගොඩක් කල් සමුදිතා එකම දේ ඔයා දැක්කේ නැහැ. ඔයාට ඒ මල් බලන්න නැවතෙන්න බැරි වුනා. මම දුක් මහන්සියෙන් හදපු ගෙදර සැප විඳින්න ඔයාට නවතින්න බැරි වුනා. “

ශෝකයට පත් වුනත් රණ්ඩු වීමට කිසි අදහසක් ඇයට තිබ්බේ නැහැ. ඒ නිසා කතාව වෙන අතකට හරවන්න ඇය වයින් වීදුරුවට වත් කරන ලෙස ඔහුගෙන් ඉල්ලුවා.

ඔහුගේ අතින් වයින් වීදුරුව අරගෙන ස්තුති කරලා…. ඇය සිනා සුනා…

“ඉතින් අපි දැන්වත් ඒ මල් වල ලස්සන බලමු. කවදාවත් නොබලනවාට වඩා හොඳයි” ..ඇය කීවේ තමාගේ පැත්තෙන් වුන වරදත් තේරම් අරගෙනයි.

“දැන් පරක්කු වැඩියි…..” ඇය පුදුමයෙන් ඔහු දෙස එක එල්ලේ බැලුවා.

(ලබන සතියට)