සාර්ථක කාන්තාවක් දවසේ පලවෙනි පැය ගෙවන්නේ මෙහෙමයි

සාර්ථක අනාගතයක් හැදෙන්නේ ඔබ අද දවස සාර්ථකව ගෙවුවොත් විතරයි. උදේ නැගිටීම කියන්නේ ඔබේ ජීවිතේ සාර්ථකත්වයට ඉතාම වටිනා පුරුද්දක්. ලෝකයේ සාර්ථක කාන්තාවෝ බොහොමයක් උදේ පිබිදෙනවා. ඇහැරිලා පලවෙනි පැය ගෙවන අකාරය ගොඩක් වැදගත්. ඒ පැය මතක ඇතිව ඔබ වෙනුවෙන් යොදවන්න. ඔබ මුළු දවසම ඔබේ දෙමාපියෝ, දරුවෝ , සැමියා නැත්නම් සහෝදරයෝ වෙනුවෙන් ගෙවනවා ඇති. හැබැයි ඇහැරිලා පලවෙනි පැය අනිවාර්යයෙන්ම ගෙවිය යුත්තේ ඔබ වෙනුවෙන්.

fb-like-beg


01) වතුර වීදුරුවක් කියන්නේ පළවෙනිම දේ

හැමදේටම කලින් නැගිට ගත් ගමන්ම පිරිසිදු ජලය පානය කරන්න. මේ පුරුද්ද එක වරම ඇති කර ගන්න අමාරු වේවි. හැබැයි පටන් ගත්තහම වතුර එක නැතුවම බැරි වෙනවා. ශරීරයේ අපවිත්‍රතා ඉවත් වෙන්න, සම පැහැපත් වෙන්න, ආහාර ජීර්ණය ක්‍රමවත් වෙන්න, රුධිර පීඩනය නිසි අගයට එන්න උදැසන හිස් බඩ ජලය පානය කිරීම ගොඩක් වැදගත් වෙනවා. නිරෝගීකම වැඩෙද්දී ඔබේ මානසික ශක්තිය වැඩි වෙනවා. එය ඔබේ සාර්ථකත්වයට ලොකු හේතුවක්.


02) ව්‍යායාමයක් අනිවාර්යයි

ඔබ උදේ 5 ට පිබිදුනහම පලවෙනි විනාඩි 20 හෝ 30 එළිමහනේ ඇවිදීම වගේ ව්‍යායාමයකට යෙදවීම සුදුසු වෙනවා. අපේ වර්තමාන ජීවන රටාව කියන්නේ තෙල්, සීනි අධික ආහාර ගන්න අඩුවෙන් ශරීරය වෙහෙසන රටාවක්. මෙය අපිට කොහෙත්ම සුදුසු නැහැ. යන්තම් තිහ පනිද්දී රෝගී වීමට මූලිකම හේතුව තමා මේ ශරීරය නොවෙහෙසන ජීවන රටාව. ඒ නිසා උදැසන පළමු පැය භාගය ව්‍යයමයකට යෙදවීම අනිවාර්යයෙන්ම කරන්න.


03) පුංචි භාවනාවක්

ඉන් පස්සේ විනාඩි 10 ක් ඔබට පුළුවන් ශරීරයේ උෂ්ණත්වය පහල බසින තුරු සරල භාවනාවකට යොමු වෙලා සිත සැහැල්ලු කර ගැනීමට. නැත්නම් ඔබ කැමති මිහිරි සංගීතයකට හෝ ආගමික ගැයීමකට දෙනෙත් පියාගෙන සවන් දෙන්න.


04) දවස සැලසුම් කරන්න

ඉන් පස්සේ ඔබ ඔබේ දවස සැලසුම් කරන්න. සැලසුම් කරහම කාලාය් සහ මුදල් ඉතුරු කරගෙන බොහෝ වැඩ සාර්ථකව කර ගන්න පුළුවන්. මේ ලිපිය ලියන මම මාසෙකට දෙවතාවක් ගෙදර වැඩ වෙනුවෙන් එලියට යනවා. බැංකු කටයුතු, බිල් ගෙවීම්, අවශ්‍ය බඩු ගෙන ඒම, ඇඳුම් මහන්න දෙන්න යාම, ලොන්ඩරියට යාම් වගේ කුඩු මහත් ගෙදරක සියලුම දේ කරන්නේ දින දෙකකින්. ඒ උදේ සියලුම යන එන ස්ථාන පාරවල් පවා සැලසුම් කරලා මගේ පොතේ ලියා ගන්න නිසයි. ඉතුරු වෙන කාලය සහ මුදල් වැදගත් දේවලට යොදා ගන්න පුළුවන්. සැලසුම් කරන දේවල් සියල්ලම මතක ඇතුව වෙලාව එක්කම ඔබේ නොට් පොතේ සටහන් කර ගන්න.


05) තමන් වෙනුවෙන් පැයක් වෙන් කරන්න උදේම නොහැකි නම්

ඔබ රැකියාවට යන අම්මා කෙනෙක් නම් බොහෝ විට ගෙදර අයට උයනවා ඇති. එතකොට 5 ට නැගිටලා මේ දේවල් කරන්න කොහෙන්ද වෙලාවක්? එහෙනම් හරිම සරලයි. වෙනදා නැගිටින්නේ 5ට නම් 4ට නැගිටින්න. එහෙම කරන පිළිවෙල වෙනත් ලිපියකින් කියා දෙන්නම්.


මේවි දින චර්යාවකට හුරු වෙද්දී ගොඩක් ගැටළු ඒවි. බොහෝ විට ඔබේම කම්මැලිකමෙන්. ඒ නිසා හැමවිටම හිතට දිරිය ගන්න. මම අනික් කාන්තාවෝ වගේ නෙවෙයි. මම සාර්ථක වෙන්න වෙර දරන කාන්තාවක් කියන එක හිතට ගන්න. මම විශේෂයි. ඒ මම විශේෂ වෙන්නේ මම වැඩ කරන පිළිවෙල විශේෂ නිසා කියන සිතිවිල්ල ඔබ තුල ඇති කර ගන්න.

SHARE