මේ දවස් වල ශරීරයට ලොකු උණුසුමක් දැනෙන බව අපි හැමෝම දන්නවා. මේකට හේතුව තමයි මාර්තු මාසය තුල අපේ රටට හිරු මුදුන් වීම. ගෝලීය උණුසුම වැඩි වීමේදී ඇති වන තාප තරංග මිනිසාට සෘජුවම බලපානවා. ගෝලීය උණුසුම වැඩි වන කාලයේදී තමයි වසංගත රෝග පැතිරෙන්නේ. ඒ වගේම සිරුරට උණුසුම දරා ගැනීමට නොහැකි වීමත් සමඟ විවිධ රෝග වැළඳෙනවා. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඔබට ඉදිරිපත් කරන්න.


fb-like-beg


හැමදාම උදේට නාන්න.

නානකොට ශරීරය සිසිල් වෙනවා. එය දවස පුරාම ඔබව සුවෙන් තියන්න උදව් වේවි.


හොඳට වතුර බොන්න.

අවට ඇති උණුසුම නිසා ඔබේ ශරීරය විජලනය වෙන්න ඉඩ දෙන්න එපා. උණුසුමෙන් බේරෙන්න ඔබ විදුලි පංකා සහ වායුසමීකරණ භාවිතා කරද්දීත් ඔබේ ශරීරය විජලනයට ලක් වෙනවා. ඒ නිසා දිනකට ලීටර් 3ක ප්‍රමාණයක ජලය ලබා ගන්න.


ඇඟ උණුසුම් කරන ආහාර වර්ග වලින් වලකින්න.

මිරිස් යෙදූ ආහාර, ප්‍රෝටීන් අධික ආහාර, තේ, කෝපි, පැණි බීම සහ සෝඩා වර්ග වැනි දෑ ලබා ගැනීමෙන් වලකින්න.


ඇඟ සිසිල් කරන ආහාර පාන ලබාගන්න.

පිටතින් ලැබෙන උණුසුම දරා ගැනීමට හැකි ශරීරය සිසිල් කළ හැකි ආහාර සහ පාන වර්ග ලබාගන්න.

උදා : රණවරා යුෂ, බෙලි යුෂ, සව් කැඳ, මුන් ඇට කැඳ, නෙල්ලි යුෂ, අලුපුහුල් වෑංජනය, පිපිඤ්ඤා වෑංජනය, කැකිරි වෑංජනය


එලියට යනකොට කුඩයක් සහ තොප්පියක් ගෙනියන්න.

මේ දවස් වල ආරක්ෂක උපක්‍රමයක් නැතිව හිරු එළියේ ඇවිදින්න යන එක භයානකයි. ඒ නිසා ඔබව හිරු එළියෙන් ආරක්ෂා කිරීම පිණිස කුඩයක් සහ තොප්පියක් භාවිතා කරන්න.


එලියට යන්න කලින් සන් ක්‍රීම් ආලේප කරන්න.

මේ දවස් වල හිරු එලිය හරිම සැරයි. හිරු එළියේ තිබෙන UV කිරණ වල බලපෑමෙන් ආරක්ෂා වෙන්න නම් අනිවාර්යයෙන්ම සන් ක්‍රීම් එකක් භාවිතා කරන්න. ඔබ ආරක්ෂා කර ගන්න ඕනේ ඔබේ මුහුණ විතරක් නෙවෙයි. ඒ නිසා සන් ක්‍රීම් බෙල්ලේ සහ අත් වලත් ගලවන්න. ඒ වගේම බයිසිකල් පදින අයත්, වාහන එලවන අයත් හිරු එලියට හසු වෙනවා. ඔවුනුත් සන් ක්‍රීම් ආලේප කිරීම වැදගත් වෙනවා.


SPF අඩංගු මිනරල් පව්ඩර් ගල්වන්න.

මේ පව්ඩර් වර්ගය වල ස්වභාවය සාමාන්‍ය පව්ඩර් වගේමයි. නමුත් මිනරල් පව්ඩර් මඟින් සම හිරු එළියෙන් ආරක්ෂා කරනවා.


SPF අගය වැඩි ලිප් බාම් එකක් භාවිතා කරන්න.

ඔබේ දෙතොල් හිරු එළියේ බලපෑමෙන් ආරක්ෂා කරන්න මේ ලිප් බාම් වලට පුළුවන්.


නිවසේ ජනෙල් ඇරලා තියන්න.

වාතශ්‍රය නිවස තුලට ලැබෙන පරිදි ජනෙල් ඇරලා තියන්න.


ජනෙල් රෙදි දාන්න.

ජනෙල් ඇරලා තිබ්බම සුළඟ එක්කම හිරු එළියත් නිවාස තුලට එනවා. ඒ හිරු එලිය අඩුවෙන් ලැබෙන්න නම් ජනෙල් රෙදි වලින් ජනෙල් ආවරණය කරන්න.


අව් කණ්නාඩි භාවිතා කරන්න.

ඇස් කියන්නේ ගොඩාක් සංවේදී ඉන්ද්‍රියයක්. සම හිරු එළියෙන් ආරක්ෂා කරන්න වෙහෙසෙනවා වගේම ඇස් දෙකත් හිරු එළියෙන් පරිස්සම් කර ගන්න ඕනේ. ඒ වෙනුවෙන් අව් කණ්නාඩි භාවිතා කරන්න.


දවල් කාලයේ පිටතට යාම අඩු කරන්න.

සැර හිරු එලියක් පවතින විට පිටතට යාම හැකි තරම් අඩු කරන්න. හිරු එළියේ ඇවිදින්න යෑම්, ක්‍රීඩාවට යෑම් සහ වෙරළේ ඇවිදින්නට යෑම් සීමා කරන්න. ජලය සහ වැලි සහිත ස්ථාන වල අව්ව වේලාවේ වැඩිපුර රැඳෙන්න එපා.

SHARE