විශේෂ උත්සව අවස්ථාවන් වලදී වගේම, එදිනෙදා ජීවිතයේදීත් රිදී ආභරණ නොපැළඳු යුවතියක් නම් හොයා ගන්නවත් නැති තරම්. ඒත් ඔවුන්ට තිබෙන ලොකුම ගැටළුව තමයි රිදී ආභරණ ඉක්මනින් අවපැහැ ගැන්වීම. ඉතින් මේ ගැටලුවට විසඳුමක් අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබ වෙත ඉදිරිපත් කිරීමට අද අපි තීරණය කළා.


fb-like-beg


ඔබේ රිදී ආභරණ වියළි සහ සිසිල් ස්ථානයක රඳවන්න

  • තෙතමනය සහිත ස්ථාන වල රිදී ආභරණ තැම්පත් කිරීම ඒවා අවපැහැ ගැන්වීමට ප්‍රධාන වශයෙන් බලපානවා. ඔබේ ආභරණ රඳවන ස්ථානය වියළි වන තරමට, ඒවා අවපැහැ වීමට ගත වන කාලය දිගු වෙනවා.
  • ඔබට පුළුවන් ඔබේ ආභරණ තෙතමනය ඇතුල් විය නොහැකි බව සනාථ කර ඇති බෑග් වල රඳවන්න. ඔබට මේවා වෙළඳසැලකින් මිලදී ගන්න පුළුවන්.
  • නිතර භාවිතා නොකෙරෙන සාරි කටු, වළලු හෝ බ්‍රේස්ලට් ආදිය තෙතමනය ඇතුළු නොවන සේ රෙදි වල ඔතන්න.
  • තෙතමනය ඇතුළු නොවන බව සනාථ කර ඇති ආභරණ පෙට්ටි මිලදී ගන්න.
  • ඔබ ආභරණ රඳවන ස්ථාන වල සිලිකා ජෙල් අඩංගු පැකට් රඳවන්න. එමඟින් අවට ඇති ජල වාෂ්ප උරා ගනු ලබනවා.

ආභරණ පැළඳගෙන ආලේපන වර්ග ගල්වන්න එපා

  • බොහෝ දෙනෙක් කරන වරදක් තමයි රිදී ආභරණ පැළඳගෙන ආලේපන වර්ග ගැල්වීම. ඔබ සම මත ආලේප කරන ආලේපන වර්ග ආභරණ මත තැවරීමෙන් ඒවා අවපැහැ ගැන්වීමට ඉඩ තිබෙනවා.
  • එමෙන්ම කෙස් මත ආලේප කරන තෙල් වර්ග, සුවඳ විලවුන් වර්ග සහ මේකප් වර්ග ඔබේ රිදී ආභරණ මත තැවරෙන්නට ඉඩ දෙන්න එපා. ඔබ සිරුරේ ගල්වන ආලේප ගල්වා අවසන් වූ පසු, ආභරණ පළඳින්න.

ආභරණ පැළඳගෙන වතුර අල්ලන්න එපා

  • කාර්යාලයේදී හෝ පිටදී ආහාර ලබා ගැනීමට පෙර ඔබ අත් සෝදනවා. නමුත් ඔබේ ඇඟිල්ලේ ඇති මුදුව ජලයට හසු වෙන බව ඔබට අමතක වෙනවා.
  • ඒ වගේම තමයි, සමහරුන් ආභරණ පැළඳගෙනම තමයි ස්නානය කරන්නෙත්. බොහෝ දෙනෙක්ට ස්නානය කිරීමට හෝ රෙදි සේදීමට පෙර තමන් පැළඳගෙන සිටින ආභරණ ගලවා ඉවත් කිරීමට අමතක වෙනවා.
  • ඔබ පිහිනීමට යෑමට පෙරත් ඔබේ ආභරණ ගලවා ඉවත් කිරීමට අමතක නොකරන්න.
  • ඇඟ සේදීමේදී හෝ අත් සේදීමේදී සබන් වර්ග තැවරීම නිසාත් ආභරණ අවපැහැ ගැන්වෙනවා.

වරක් පැළඳු රිදී ආභරණ නැවත තැම්පත් කිරීමට පෙර හොඳින් පිස දමන්න

  • දහදිය තැවරීම නිසාත් රිදී ආභරණ අවපැහැ ගැන්වෙනවා. එමෙන්ම සිරුරින් පිට වන තෙල්, දුවිලි ආදියත් දවස පුරා මේ ආභරණ වල තැවරෙනවා.
  • මේ නිසා ඔබ පැළඳු ආභරණ නැවත තැම්පත් කිරීමට පෙර මෘදු රෙදි කඩක් භාවිතා කර පිස දමන්න.

රිදී ආභරණ පිරිසිඳු කිරීමට හොඳම ක්‍රමය

  • සුදු පැහැති දන්තාලේපයක් තෝරා ගන්න. මේ දන්තාලේපයේ බේකින් සෝඩා අඩංගු නොවිය යුතුයි. (මේ සඳහා ජෙල් සහිත දන්තාලේප තෝරා නොගන්න)
  • ඔබේ රිදී ආභරණ පිරිසිඳු ජලය සහිත බඳුනකට දමා පොඟවා ගන්න. මේ මඟින් ඔබේ ආභරණ වල තැවරී ඇති කුණු සහ දුවිලි ලිහිල් වීමක් සිදු වෙනවා. එමෙන්ම තෙත් සහිත බව නිසා දන්තාලේප තැවරීමත් පහසු වෙනවා.
  • දන්තාලේප ස්වල්පයක් ගෙන ආභරණ මත හොඳින් තවරන්න. දන්තාලේප තැවරීම සඳහා ඔබට ඔබේ ඇඟිල්ල, කුඩා ස්පොන්ජ් කැබැල්ලක් හෝ මෘදු රෙදි කැබැල්ලක් යොදා ගත හැකියි.
  • මී ලඟට මෘදු රෙදි කඩකින් දන්තාලේප පිස දමමින් ඉවත් කරන්න. ආභරණ මත අපද්‍රව්‍ය රැඳී ඇති ප්‍රමාණය වැඩි නම්, ඒවා කළු පැහැතිව රෙදි කැබැල්ලේ තැවරෙනු ඇත.
  • ආභරණ වලට අල්ලා ඇති ගල් වර්ග පිස දැමීමේදී එය ඉතා ප්‍රවේශමෙන් සිදු කරන්න.
  • සාරි කටු, මුදු ආදිය නම් ඔබට මෘදු කෙඳි සහිත බුරුසුවකින් මැද ගත හැකියි.
  • තැවරී ඇති අපද්‍රව්‍ය පහසුවෙන් ඉවත් නොවන්නේ නම්, දන්තාලේප ඒ මත තවරා විනාඩි 2- 3 අතර කාලයක් තබන්න. එමඟින් එම අපද්‍රව්‍ය බුරුල් කර ගත හැකියි.
  • පිරිසිඳු ජලයෙන් සෝදා ගත් ආභරණ හොඳින් පිස දමා, වියලා ගන්න. මේ ආභරණ තෙත සහිතව තැම්පත් කිරීම හෝ පැළඳීම සිදු නොකරන්න.
SHARE