Shopping කිරීම කියන්නේ බොහෝ කාන්තාවන් ප්‍රිය කරන කටයුත්තක්. නමුත් සැලකිලිමත් ලෙස මේ කටයුත්තෙහි නිරත නොවුනොත්, ඔබේ මුදල් ඔබටත් නොදැනීම නාස්ති වී යා හැකියි. ගොඩක් දෙනා බඩු මිලදී ගන්නට බොහෝ සතුටින් ගියත්, පසුව වැය වී ඇති මුදල් ප්‍රමාණය ගැන සිතා පසුතැවෙන අවස්ථා තිබෙනවා. එසේ නොවීමට නම්, ඔබේ මිලදී ගැනීම් නුවනැතිව කල යුතු වෙනවා. ඉතින් අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මේ ගැන ලිපියකුයි.


fb-like-beg


1 මිලදී ගැනීම් කල් තියා සැලසුම් නොකිරීම

ගොඩක් දෙනෙක්ට වරදින තැනක් තමයි මේ. ඔබ මිලදී ගත යුත්තේ මොනවද කියලා ඔබ හරියටම දන්නේ නැත්තම්, ඔබ දකින දකින දේ මිලදී ගැනීමට පෙළඹෙනවා. මේ නිසා ඔබේ නිවසේ අඩුපාඩු සහ අවශ්‍යතා සලකා බලලා, ඔබට ඇත්තටම මිලදී ගැනීමට අවශ්‍ය දේවල් වල ලිස්ට් එකක් හදා ගන්න. හැම වැඩක්ම සාර්ථක කර ගැනීමට නම් නිසි සැලසුමක් තිබිය යුතු බව ඔබ අසා ඇති. භාණ්ඩ මිලදී ගැනීමේ කටයුත්තේදීත් නිසි සැලසුමක් ඇතිව ක්‍රියා කිරීම ඔබේ වියදම් පාලනය කරාවි.

2 කාර්ඩ් මඟින් ගනුදෙනු කිරීම

ක්‍රෙඩිට් කාර්ඩ් හෝ ඩෙබිට් කාර්ඩ් හරහා ගනුදෙනු කරන විට ඔබේ මුදල් වැයවී යන ප්‍රමාණය ඔබට වටහා ගන්න බැහැ. නමුත් ඔබ බඩු මිලදී ගන්නේ ඔබේ අතේ ඇති මුදල් භාවිතා කරලා නම්, ඔබේ මිලදී ගැනීම් වලට සීමාවක් පැනවෙනවා. කාර්ඩ් භාවිතා කර මිලදී ගැනීම් සිදු කරන විට වාසි කෙතරම් පැවතුනත්, නොසිතු ලෙස මුදල් වැය වීම නම් අවාසියක්. මේ නිසා ඔබ මිලදී ගැනීම් කිරීමට යාමේදී කාර්ඩ් වෙනුවට මුදල් ගෙන යාමට උනන්දු වන්න.

සැයු :  ඇතැම් වෙළඳ සැල් වල ක්‍රෙඩිට් කාර්ඩ් භාවිතා කර ගෙවන විට විශාල වට්ටම් ලබා දෙන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථා වලින් ප්‍රයෝජන ලබා ගන්න.

3 කම්මැලිකම නැති කර ගැනීමට ෂොපින් කිරීම

ඔබ බඩු මිලදී ගැනීමට යා යුත්තේ ඔබට ඇත්තටම එය අවශ්‍ය මොහොතේ මිසක් කම්මැලිකම නැති කර ගැනීමේ අරමුණින් නෙවෙයි. එහෙම තේරුමක් නැතුව ෂොපින් ගියාම ඔබට නොසිතු වියදම් ඇති වෙනවා. කම්මැලිකම නැති කර ගැනීමට වෙනත් ඕනෑ තරම් විනෝදාංශ තිබෙනවා.

4 අන්තර්ජාලය හරහා සිතෙන සිතෙන දේවල් මිලදී ගැනීම

අන්තර්ජාලය හරහා මිලදී ගැනීම් කිරීම ඉතාම සුවපහසුයි. එකම ස්ථානයක වාඩි වී සිට, ඔබට අවශ්‍ය දෑ ඇනවුම් කිරීම පමණයි ඔබ කල යුත්තේ. කෙසේ වෙතත් මේ පහසු බව නිසාම ඔබට නොසිතු වියදම් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම මේ ගනුදෙනු සිදු වන්නේ කාර්ඩ් හරහා වීමත් මේ පාලනයකින් තොර වියදම් වලට හේතු වෙනවා.

5 බාහිර බලපෑම් වලට හසු වීම

ඔබ බඩු මිලදී ගැනීම සඳහා යන්නේ ඔබේ මිතුරෙකු සමඟ විය හැකියි. ඔබ අකමැති දෙයට ඔවුන්ගේ කැමැත්තක් තිබිය හැකියි. මෙවැනි අවස්ථා වලදී ඔවුන් විසින් ඔබට ඔවුන් කැමති දේ මිලදී ගන්නට බලපෑම් එල්ල කරාවි. නමුත් ඔබ තුල සුවිශේෂී කැමැත්තක් ඇති නොවූ, වෙනත් අයෙකු නිර්දේශ කරන භාණ්ඩයක් මිලදී ගැනීමෙනුත් බොහෝ විට සිදු වන්නේ ඔබේ මුදල් නාස්ති වීමයි. ඒ වගේම තමයි ඔබ භාණ්ඩ මිලදී ගන්නා වෙළඳ සැලේ සිටිනා වෙළඳ සේවක සේවිකාවනුත්. ඔබ ඔවුන්ගේ අදහස් විමසුවාට කමක් නැහැ. නමුත් ඔවුන්ගේ අදහස ඔබේ අවසාන තීරණය බවට පත් කර ගන්න එපා. සෑම නිර්දේශයක්ම සලකා බැලුවත්, ඔබ මිලදී ගත යුත්තේ කුමක්ද යන්න තීරණය කල යුත්තේ ඔබ විසිනුයි.

6 වට්ටම් කෙරෙහි දක්වන ආකල්ප

වට්ටම් ලබා දී ඇති භාණ්ඩ මිලදී ගැනීමේදී එය කල්පනාකාරීව කල යුතුයි. ඇතැම් කඩ හිමියන් වට්ටම් ලබා දීමෙන් සිදු කරන්නේ බොරුවක් විය හැකියි. කල් ඉකුත් වීමට ආසන්න භාණ්ඩ, දෝෂ සහිත භාණ්ඩ මිල අඩුවට ලබා ගැනීමෙන් ඔබට වාසියක් සිදු වන්නේ නැහැ. නමුත් එවැනි දෝෂ රහිත, වට්ටම් සහිත භාණ්ඩ මිලදී ගැනීම කෙරෙහි සලකා බැලීමේ වරදක් නැහැ. ඒවා මිලදී ගත්තත්, ඔබේ ආදායම ඉක්මවා මිලදී ගැනීම් නොකළ යුතුයි.

 

     

SHARE