මීටර් ටැක්සි එහෙමත් නැත්නම් බජට් ටැක්සි කියන්නේ මේ වෙද්දී අපේ රටේ අයට නැතුවම බැරි දෙයක්. තමන්ගේ වාහනෙකුත් නැත්නම්, එහෙමත් නැත්නම් තමන්ගේ වාහනේ යන්න බැරි ගමනක් යනවනම්, බස් එකේ ගාටනවට වඩා ටිකක් සුවපහසුවට, කාලෙත් ඉතුරු කරන් ගමනක් යන්න කියාපු වාහනේ තමයි මීටර් ටැක්සි කියන්නේ. ඉස්සර වගේ ත්‍රීවිල් එකකින් ගමනක් ගිහිල්ල බහින්න කිට්ටුව ගාන ගැන වාද කරනවට වඩා, ගියපු දුරේ හැටියට මීටරේ වැටිලා තියෙන ගාන ගෙවල යන්න හුඟක් අය කැමතියි. ඒ වගේම ඒක, ත්‍රිරෝද රියදුරාටත් පහසුවක්.
හැබැයි මේ මීටර් ටැක්සිවලින් හරි විදිහට වාසි ගන්නනම් මීටරෙන් ම යන්න වෙනවා. එහෙම නොවුණොත් වෙන්නේ ලොකු පාඩුවක්.


fb-like-beg

1. කල් තියා දැනගන්න.

ගමන යන්න කළින් යන පාර ගැන අවබෝද කරගන්න. අපේක්ෂිත ගමනාන්තෙට යන්න පුළුවන් කෙටිම පාර හොයාගන්න. ඒ විතරක් නෙමෙයි, ත්‍රී වීල් එකට නගින්න කළින් ඒක මීටර් මද කියල අහන්න. මොකද එළියෙන් “මීටර්” කියල ගහල තියෙන ටැක්සි සමහරක මීටරේ වැඩ කරන්නේ නැහැ.
තව එකක්, කිලෝමීටරේකට අය කරන ගාණත් අහල දැනගන්න.


2. යන ගමනුත් “මීටරෙන් ” ඉන්න.

ත්‍රී වීල් එකේ යන අතරෙත් පුළුවන් නම් මීටර් එක දිහා ටිකක් අවධානයෙන් බලාගෙන ඉන්න. පාරේ ස්වභාවය අනුව, වාහන තදබදයේ තත්වය අනුව මීටරේ වෙනස්වෙන විදිහ බලාගෙන හිටියොත් රැවටෙන්න තියෙන අවස්ථා අඩුයි.
පුළුවන් නම් හිතෙන පොඩි ගණනයක් කරන්න.
ලංකාවේ හැම ත්‍රී වීල් එකක්ම එකම ගාන ගන්න ඕනේ කියලා නීතියක් නැති නිසා එක එක අයගේ මීටර් වැඩ කරන්නේ එක එක වේගයෙන්. ඒ විතරක් නෙමෙයි, මීටරේ පොඩි වෙනස්කමක් කරලා ගාන වෙනස් කරගන්නත් මේ අයියලට පුළුවන්.
සමහර ත්‍රී විල් තියෙනවා බොත්තමක් ඔබලා මීටරේ ගාන වෙනස් කරන.


3. මග නොදැන යනවා නම්

දන්නේ නැති පාරක්නම්, ඔබට පුළුවන් අතේ තියෙන ස්මාට් ජංගම දුරකථනයේ පිහිට පතන්න. Google Maps තියෙන්නේ ඔබට උදව් වෙන්න තමයි. ඒ වගේම GPS තාක්ෂණේ පාවිච්චි කරලා වාහන තදබදය තියෙන තැන් එහෙම හොයාගත්තම, ඒ පාරවල් මගාරින්නත් ඔයාට පුළුවන් වෙයි.

ස්මාට් ජංගම දුරකතනයක් නැත්නම්, ඔබට පුළුවන් ස්මාට් වෙන්න. පාර දන්න බව පෙන්වන්න. ලේසියෙන් අන්දන්න බැරි බව තේරුණාම ඔබව අන්දන්න ඒ අය පෙළඹෙනවා අඩුයි.


4. හොර වැඩක් වෙනවා වගේනම්

කෙලින් ම අහන්න. මුදල් ගෙවන්නේ ඔබ නිසා අහන්න ඔබට අයිතියක් තියෙනවා. එහෙම ඇහුවට පස්සෙත් ත්‍රී විල් රියදුරා ඔබේ මුදල් ගසාකන්න හදනවනම්, කරන්න පුලුවන් හොඳම දේ ඒ ත්‍රි රෝද රථයෙන් බහින එක ( ඔබේ ගමනේ හදිසිය අනුව තමයි ඉතින්) මොකද, ඔබ ගැන ගැන ඇහුවට පස්සෙත් හොර වැඩක් වෙනවනම්, ඔබේ පර්ස් එක බින්දුවට ම හිඳෙන්නත් පුළුවන් ගමන ඉවර වෙද්දී.
කෙලින් ම අහන්න ගටක් නෑ වගේනම්, මෙන්න තියෙනවා උපක්‍රමයක්.
ගන්න ඔබේ කැමරාවක් සහිත ජංගම දුරකථනය අතට. මීටරේ වීඩියෝගත කරන බව ඔහුට දැනෙන්නට ඉඩ අරින්න.
වෙන්නේ හොර වැඩක් නම් හුඟක් වෙලාවට මීටරේ වේගේ අඩුවෙනවා ඔබට නිකන් ම පෙනෙයි.


5. වැඩි ගානක් අරන් මාරු

මාරු සල්ලි – ඒ කියන්නේ කාසි නිතරම ළඟ තියාගන්න. නිකන් හිතන්න මීටරේ වැටිලා තියෙන්නේ රුපියල් 67 ක් කියල. ඔබ 70 ක් දුන්නොත් කවදාවත් ඉතුරු රුපියල් තුන ලැබෙනවද? නිකන් හිතන්නකෝ ඔබ ඒ විදිහට දවස් 10 ක් ඒ ගානට ම ත්‍රී වීල් එකේ ගියා කියල හිතන්න.
ඔබ නිකරුනේ වියදම් කළ මුදල රුපියල් තිහක්.
ඒ නිසා වඩා හොඳයි මාරු කාසි ළඟ තියාගන්න එක.
මාරු දෙන්න ලජ්ජා වෙන්න එපා. හැම ගනුදෙනුවකට ම නියමිත මිලක් තියෙනවා. ඔබ කඩෙන් බීම බෝතලයක් ගත්තොත් ලේබලේ ගානට වඩා වැඩිපුර සල්ලි ගෙවනවද? මෙතනත් එහෙමයි. ඔබට නියමිත මිල තමයි මීටරේ තියෙන්නේ. ඒ ගාන ගෙව්වම ඇති.


6. තැනේ හැටියට ඇණේ

මැජෙස්ටික් සිටි වගේ තැන් ඉස්සරහ තියෙන ත්‍රී වීල් පාක්වල ත්‍රී වීල් හුඟක් වෙලාවට වැඩි ගානක් ගන්නවා. සමහරු “පොඩි දුරට මීටරේ දාන්නේ නැහැ, රුපියල් සියක් එකසිය පනහක් ” වගේ ඉල්ලනවා. මේ වගේ වෙලාවට ත්‍රී වීල් පාක් එකෙන් ටිකක් එහාට ඇවිදන් ගිහින් පාරේ යන එකක් නවත්තගෙන යන්න.
නගින්න කලින් ගාණත් අහන්න.


7. හොඳම ක්‍රමේ.

සම්මත මීටරේකට මුදල් අය කරන ත්‍රි රෝද රථ සේවා සැපයුම් ආයතන තියෙනවා දැන්. දුරකථන ඇමතුමක් දීල ගෙන්වාගන්න. නවීන ම පහසුකම තමයි ඒ වගේ තැන්වලින් සපයන, ත්‍රි රෝද රථය ඔබට වඩා කොයිතරම් දුරින්ද ඉන්නේ, ඔබව ගන්න එන්න ගතවෙන කාලය වගේ දේවල් ජංගම දුරකතනයෙන් හොයාගන්න ලැබෙන එක.

එහෙම දුරකථන ඇමතුමකින් ත්‍රී වීල් එකක් ගෙන්න ගන්න වෙලා මදි නම්, කලින් කියපු ක්‍රම හය අනුගමනය කරන්න.

දැන ගියොත් කතරගම – නොදැන ගියොත් අතරමග කියලා කියමනක් තියෙනවා නේ. කතරගම විතරක් නෙමෙයි කොහේ ගියත් “මීටරෙන්” යන්න. වරදින එකක් නෑ.

SHARE