බොහෝ වෙලාවට අපි කෑම වේලකට අමුත්තන් සඳහා ආරාධනා කරන අවස්ථා තිබෙනවා. අමුත්තෙක් නිවසට පැමිණි විට නිවසේ වෙනදා කෑම කාපු විදිහට හැසිරෙන්න බැහැ. ඔබ වෙනදට කෑම කන්නේ ටීවී එක බල බල වෙන්න පුළුවන්. ඒත් අමුත්තෙකු ආපු වෙලාවට ඔබ ඔවුන් සඳහා ආහාර පිළිගැන්විය යුත්තේ වෙනස්ම විදිහකටයි. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.

 


fb-like-beg


අවට පිරිසිඳු බව ගොඩාක් වැදගත් කාරණයක්. ඔබ නිවසට ආරාධනා කළ ආරාධිතයාගේ කෑම රුචිය වැඩි කිරීමට හෝ නැති කිරීමට අවට පිරිසිඳු බවට විශාල හැකියාවක් තිබෙනවා. මේ නිසා මේස රෙද්ද, අත් පිස්නාව, පිඟන්, කෝප්ප, හැඳි සහ ගෑරප්පු ආදි සියල්ලම පිරිසිඳුව පැවතිය යුතුයි.


උදේ කෑම මේසය සඳහා වර්ණවත් අත් පිස්නා භාවිතා කරන්න පුළුවන්. නමුත් දිවා හෝ රාත්‍රී ආහාර වේල් සඳහා වඩාත්ම ගැලපෙන්නේ සුදු හෝ ලා පැහැති අත් පිස්නාය. මේවා විවධ ක්‍රම වලට නැවිය හැකියි. සුදුසු ක්‍රමයකට නවා මේසය මත හෝ වෙනම පීරිසියක තබන්න.


හැඳි, ගෑරප්පු සහ පිහි ආදිය නිසි ස්ථානයෙන් තැබීම ගොඩක් වැදගත්. හැඳි සහ ගෑරප්පු තැබිය යුත්තේ උඩු අතට හරවාය.  වීදුරු තැබිය යුත්තේ පිහි වලට දකුණු පැත්තෙන් හෝ ඉහළින්ය. ආහාර බෙදා ගැනීමට තබන හැඳි කෑම දීසි ආසන්නයේම තබන්න.


මේසය මත මල් බඳුන් තබනවා නම්, ඒවා නැණවත්ව තෝරා ගන්න. මල් වල වර්ණයන් මේස රෙද්ද සහ පිඟන් වල වර්ණය හා ගලපන්න. මල් බඳුන් තැබීමේදී කෑම බඳුන් ආවරණය වන සේ තැබීමෙන් වලකින්න. මේ නිසා මේසයේ තැබීම සඳහා මිටි මල් බඳුනක් තෝරා ගන්න. රාත්‍රී උත්සවයකට නම් මල් සැරසිලි සමඟ පත්තු කළ ඉටිපන්දම් තැබීමෙන් අලංකාරයක් එක් කර ගන්න පුළුවන්.


උපන්දින උත්සව, නත්තල් උත්සවය වැනි විශේෂ උත්සව අවස්තාවන් වලදී නම් ඔබට සැරසිලි සිදු කිරීමට වේවි. සැරසිලි කටයුතු වලදීම් කෑම බඳුන් ආවරණය වන සේ සැරසිලි නොකරන්න.


අත සේදීමේ බඳුන් තබනවා නම්, මේසයේ ආරක්ෂාව පිණිස මේස රෙද්ද යටින් ඝන රෙද්දක් හෝ ඉටි කවරයක් දමන්න. හදිසියෙවත් අමුත්තෙකු අතින් මේසය මත ජලය හැලුනොත්, එයින් ඔබේ මේසයට හානි සිදු වීම වැළකෙනවා.


මේසය අසලම තවත් කුඩා මේසයක් තබන්න. ඒ මත කට්ලට් වැනි නිතර අවශ්‍ය වන ආහාර, පලතුරු, අතුරුපස, වැඩිපුර හැඳි හා ජලය වීදුරු වැනි දේ තබන්න. එවිට ඔබට විටින් විට මුළුතැන්ගෙයට දිවීමේ අවශ්‍යතාවයක් පැන නඟින්නේ නැහැ.


අමුත්තන්ට මේසයේ ඉඩ කඩ තිබිය යුතුයි. මේ නිසා පුටු අතර වැඩි ඉඩක් තබන්න. එකිනෙකා මුහුණට මුහුණ සිටීමට හැකි වන සේ පුටු සැකසීම වැදගත්.    

තේ මේසයක් සඳහා අනුගමනය කළ යුතු කරුණු

  • තේ කෝප්ප පිරිසිඳුව හා පිළිවෙලට තිබිය යුතුයි.
  • තේ වලට තමාට අවශ්‍ය සීනි ප්‍රමාණය දමා ගැනීම පිණිස මේසය මත සීනි බඳුනක් තැබීම වර්තමානයේ ජනප්‍රිය ක්‍රමයකි.
  • තේ මේසය සඳහා පිළිගන්වන රසකැවිලි සිත් ගන්නා සුළු බන්දේසියක දමා පිළිගන්වන්න. එසේත් නැති නම් රසකැවිලි වෙන වෙනම පීරිසි වල තබා මේසයට යවන්න.
  • තේ මේසයේදී වුවද සෑම දෙනාටම අත් පිස්නාවක් සපයන්න. නමුත් වර්තමානයේ අත් පිස්නා වෙනුවට ටිෂූ කොළ පිරිනමනු ලැබේ.
  • තේ මේසයක් නිවස තුල ලෑස්ති කරනවාට වඩා එළිමහන් ස්ථානයක් ඒ වෙනුවෙන් යොදා ගත හැකි නම් එය සුදුසුයි. ඔබේ නිවසේ ඉඩකඩ ඇති ගෙමිදුලක් තිබෙනවා නම් තේ මේසය එහි ලෑස්ති කරන්න.

 

SHARE