කාලයක් ගත වෙනකොට බිත්ති මත පැල්ලම් ඇති වීම ස්වභාවික ක්‍රියාවලියක්. ඒත් පොඩි දරුවෙක් ඉන්න ගෙදරක නම් මේ තත්වය ටිකක් දරුණුයි. කොච්චර කොළ, පොත් ගෙනල්ලා දුන්නත් ඔවුන් චිත්‍ර අඳින්න සහ අකුරු ලියන්න තෝරා ගන්නේ බිත්තියමයි. ඒක වලක්වන්න හරිම අමාරුයි. ඉතින් වැඩි වෙහෙසක් හා මුදල් නාස්තියක් නැතුව මේ පැල්ලම් ඔබටම මකා ගන්න පුළුවන් නම් හොඳයි නේද? ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබට බිත්තිය මත ඇති පැල්ලම් මකා දැමිය හැකි ක්‍රම කීපයක් ගැන ඔබට කියා දෙන්න.


fb-like-beg


මෘදු රෙදි කඩක්

ප්‍රථමයෙන්ම මෘදු රෙදි කඩක් යොදාගෙන පැල්ලම යැවීමට උත්සාහ කර බලන්න. රෙදි කැබැල්ල යන්තමින් තෙමාගෙන පැල්ලම මත තදින් අතුල්ලන්න. මෙහිදී බිත්තියේ අනෙක් ප්‍රදේශ අතුල්ලන්නට යන්න එපා.


සබන් කුඩු සහ විනාකිරි

උණුසුම් ජලය සහිත බඳුනකට විනාකිරි කොප්පයකුත්, සබන් කුඩු කොප්පයකුත් දමා එකට මිශ්‍ර කර ගන්න. ඉන් පසුව ඉහත මිශ්‍රණය පැල්ලම් සහිත බිත්තිය මත ආලේප කරමින්, බ්‍රෂ් එකක් උපයෝගී කරගෙන හොඳින් අතුල්ලමින් සෝදා ගන්න.


බේකින් සෝඩා

උණු වතුර බාල්දියකට බේකින් සෝඩා කෝප්ප භාගයක් පමණ දමා හොඳින් මිශ්‍ර කර ගන්න. ඉන් පසුව ඉහත මිශ්‍රණය පැල්ලම් සහිත බිත්තිය මත ආලේප කරමින්, ඝන තුවායක් උපයෝගී කරගෙන හොඳින් අතුල්ලමින් සෝදා ගන්න.


ටූත්පෙස්ට්

ටූත්පෙස්ට් ගැලපෙන්නේ කුඩා පැල්ලමක් යවා ගැනීම සඳහායි. පැල්ලම මත සුදු පැහැති ටූත්පෙස්ට් ආලේප කර මිනිත්තු 10ක් පමණ තබන්න. ඉන් පසුව ඝන රෙදි කැබැල්ලක් යොදා ගනිමින් පැල්ලම මත සෙමින් අතුල්ලන්න. අවසානයේ තෙත් කළ රෙදි කඩකින් පිසදා ටූත්පෙස්ට් අයින් කරන්න. ඒ සමඟම පැල්ලමත් මැකී යනු ඇත.


නිය ආලේපන ඉවත් කිරීමට යොදා ගන්නා දියර

පැල්ලම මත දියරය ගල්වා රෙදි කඩකින් අතුල්ලන්න.


වැලි කඩදාසියක්

ඇතැම් පැල්ලම් බිත්තියෙන් උඩට මතු වී, ඝන වී තිබෙනවා. මෙය පැල්ලම අතින් අල්ලා බැලීමෙන් හඳුනා ගන්න පුළුවන්. මෙවැනි අවස්තාවකදී වැලි කඩදාසියකින් පැල්ලම මත මදින්න. මෙය බිත්තියට හානියක් නොවන සේ කළ යුතු අතර, මෙයින් පැල්ලම සම්පුර්ණයෙන්ම ඉවත් කළ නොහැකියි. සුරා දැමුණු පැල්ලමේ ඉතිරිය මකා දැමීමට බේකින් සෝඩා හෝ ටූත් පේස්ට් භාවිතා කරන්න.


ක්ලීනර් වර්ග

පැල්ලම් යැවිය හැකි ක්ලීනර් වර්ග ඔබට වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන්. බිත්තියේ පැල්ලම් ඇති ප්‍රදේශයට ක්ලීනර් ස්ප්‍රේ කරන්න. ඉන් පසුව ස්පොන්ජ් කැබැල්ලක් මඟින් බිත්තිය අතුල්ලමින් සෝදා ගන්න.


ශේවින්ග් ක්‍රීම්

මෙම ක්‍රමය මඟින් බිත්ති වල ඇති රට හුණු පැල්ලම් පහසුවෙන්ම ඉවත් කළ හැකියි. ප්‍රථමයෙන්ම ප්ලාස්ටික් පතුරක් ගෙන පැල්ලම් සූරා දමන්න. මීළඟට මකනයක් ආධාරයෙන් එය මැකීමට උත්සාහ කරන්න. පැල්ලම තරමක් අඩු වනු ඇත. ඉන් පසුව පැල්ලම් මත ශේවින්ග් ක්‍රීම් ආලේප කරන්න. විනාඩි 10කට පමණ පසු රෙදි කැබැල්ලක් මඟින් බිත්තිය අතුල්ලමින් සෝදා ගන්න.

SHARE