නිවසක සුන්දරත්වය වැඩි කරන තවත් අංගයක් තමයි බිත්ති වලට ආලේප කරන වර්ණය. හිතූ හිතූ විදිහට නිවසේ තීන්ත ආලේප කරන්නේ නැතුව, නිවසේ සුන්දරත්වය ඉස්මතු වෙන විදිහට තීන්ත ආලේප කිරීම නුවණැති ක්‍රියාවක්. ඒ වගේම තමයි වර්ණ වලින් අපේ මනසට යම් බලපෑමක් කිරීමේ හැකියාවක් ඇති බව මේ වන විට සොයාගෙන තිබෙනවා. ඉතින් නිවසේදී ඔබේ මනස සුවදායි කරවන වර්ණ තෝරා ගැනීමත් ඉතා වැදගත්. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරපත් කරන්න.


fb-like-beg


සාලය

අමුත්තෙකු ගෙට ගොඩවූ ගමන් මුලින්ම ඔහුගේ නෙතට හසු වන්නේ සාලයයි. ඔබ සංග්‍රහ කිරීම් කරන තුරු අමුත්තා අසුන්ගෙන සිටින්නේ සාලය තුලයි.

කොළ වර්ණය සාලයක ගැල්වීම ඉතා සුදුසුයි. එයට හේතුව වන්නේ කොළ වර්ණය දැකීමෙන් කෙනෙකුගේ සිතේ සාමය, නැවුම් බව, නිදහස් බව ඇති වෙනවා. යම් කෙනෙකු ඔබේ නිවසට කෝපයෙන් ගොඩ වැදුනත්, මඳ වේලාවක් ගත වන විට ඔහුව සංසුන් කරවීමේ හැකියාවක් කොළ වර්ණයට පවතිනවා.


කෑම කාමරය හා කුස්සිය

රතු වර්ණයට කුසගිනි ඇති වෙන බව පැවසෙනවා. එමෙන්ම රතු වර්ණයෙන් ක්‍රියාශීලී බවක්ද ඇති වෙනවා. මේ නිසා රතු පැහැය කෑම කාමරයට හා කුස්සියට හොඳින් ගැලපෙනවා.


නිදන කාමරය

නිදන කාමරයේදී ඔබ සැහැල්ලුවෙන් නින්දට පිවිසිය යුතුයි. නිල් වර්ණයෙන් සිතට සැහැල්ලුවක්, විවේකි බවක් ගෙන දෙන බව පැවසෙනවා. මේ නිසා නිදන කාමර වලට හොඳින්ම ගැලපෙන වර්ණය වන්නේ නිල් වර්ණයයි.

දම් වර්ණයත් සිතට නිසංසල සහ සුවදායි හැඟීම් ගෙන එන වර්ණයක්. මේ නිසා නිදන කාමර වලට දම් වර්ණයත් ගැලපෙනවා.


දරුවන්ගේ කාමර

පුංචි දියණියකගේ කාමරයකට ලා රෝස පැහැය හොඳින් ගැලපෙනවා. සිත සන්සුන් කරවන්න මේ වර්ණයටත් හැකියාව තිබෙනවා.

පුතෙකුගේ කාමරයකට රිදී පැහැය ගැලපෙනවා. එය දරුවාගේ මනසට ජවයක් ගෙන එනවා.

නමුත්, ගොඩක් දඟ දරුවෙකුගේ කාමරයකට නම් ගැලපෙන්නේ නිල් වර්ණයයි. එයට හේතුව වන්නේ නිල් වර්ණයට සිත සංසුන් කරවීමේ හැකියාවක් තිබීමයි.


විවේක කාමර

ඔබේ නිවසේ විවේක ගැනීම සඳහා වෙනම කාමරයක් තිබෙනවා නම්, ඒ සඳහා සුදුසු වන්නේ ලා නිල, ලා දම් වැනි වර්ණයන්ය.


කියවීම් කාමර

දරුවන්ට පාඩම් කිරීම සඳහා වෙන් කළ කාමර වලට ලා කහ වර්ණය ඉතා සුදුසුයු. මෙයට හේතුව වන්නේ කහ වර්ණය සිතේ උද්යෝගය වැඩි කර, සතුටු ස්වභාවයක් ලබා දීමයි. කහ වර්ණයෙන් සිතේ මතක ශක්තිය වැඩි වීමටත් උපකාරයක් ලැබෙනවා.


නිවසේ ඉඩ අඩුයි නම්

ඔබේ නිවසේ යම් කාමරයක බඩු වැඩියි නම්, ඉඩ කඩ නොමැතිව අවහිර වූ ගතියක් පෙනෙන්නට තිබෙනවා නම්, ඔබට ගැල්විය හැකි හොඳම වර්ණය වන්නේ සුදු වර්ණයයි. එයට හේතුව වන්නේ සුදු වර්ණයෙන් කාමරයක ඉඩ වැඩි කර පෙන්වීමට හැකියාවක් තිබීමයි.


සැ.යු :

  • තීන්ත ආලේප කිරීමේදී නිවසේ ඇති බඩු භාණ්ඩ වල වර්ණය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. බඩු භාණ්ඩ වල වර්ණයට ගැලපෙන්නට බිත්ති වල තීන්ත ආලේප කිරීමත් වැදගත් වෙනවා.
  • ආලේප කිරීම සඳහා තීන්ත තෝරා ගැනීමේදී උසස් ප්‍රමිතියක් ඇති තීන්ත තෝරා ගැනීම වැදගත් වෙනවා. එයට හේතුව වන්නේ බොහෝ මිල අඩු තීන්ත වල ඊයම් හා ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වී තිබීමයි.
SHARE