කාන්තාවන් ගොඩක් සැලකිලිමත් වෙන්නේ ලස්සන විලාසිතා සහිත ඇඳුම් ඇඳලා, සමාජය තුල ඉතා සොඳුරු විදිහට ජීවත් වීම පිළිබඳවයි. ඉතින් ඔවුන් ඒ වෙනුවෙන් දහස් ගණන් මුදල් වියදම් කරනවා. නමුත් ඔවුන් ඒ තරම් සැලකිල්ලක් යට කලිසම් තෝරා ගැනීමේදීත් දක්වනවාද කියන එක නම් ඇත්තටම ප්‍රශ්නයක්. මොකද ඔබ ඔබට නොගැලපෙන යට කලිසම් පාවිච්චි කළොත්, යෝනි ප්‍රදේශය විවිධ ආසාදන සහ රෝග වලට ලක් වීමේ අවදානමක් පවතිනවා. ඉතින් අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබට මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න තීරණය කළා.


fb-like-beg


  • අතීතයේදී, වර්තමානයේ වගේ හැමතැනම යට කලිසම් විකිණීමට තිබුණේ නැහැ. බොහෝ විට කාන්තාවන් ඒවා මසා ගත්තේ නිවසේදිමයි.
  • අතීත කාන්තාවන් යට කලිසම් මසා ගැනීමට සුවපහසු කොට්න් රෙදි භාවිතා කළත්, වර්තමානයේ කඩ සාප්පු සහ පදික වේදිකාවල විවධ රෙදි වර්ග වලින් මැසූ යට කලිසම් විකිණීමට තබා තිබෙනවා. ඉතින් බොහෝ දෙනෙක් මේවා වෙළඳ පොලෙන් මිලදී ගන්නට හුරු වී සිටිනවා.
  • කාන්තාවන් යට කලිසම් වෙළඳපොලෙන් මිලදී ගැනීමට පෙළඹෙන්නේ ලබා ගැනීමේ පහසුව, විසිතුරු නිමාව, විවිධ වර්ණ වලින් මසා තිබීම වැනි හේතූන් නිසාය.
  • වෙළඳපොලේ සිල්ක්, කපු, නයිලෝන්, සැටින්, එයාර්ටෙක්ස් සහ විස්කෝස් වැනි විවිධ රෙදි වර්ග වලින් මැසූ යට කලිසම් විකිණීමට තබා ඇත.

සිල්ක් සහ නයිලෝන් යට කලිසම් වැඩි වේලාවක් ඇඳගෙන ඉන්න එපා.

වර්තමානයේ ජිවත්වන කාන්තාවන්ගේ කාර්යබහුල ජීවන රටාව නිසාම, ඔවුන් ඉක්මනින් සෝදා වේලා ගැනීමට පහසු සිල්ක් හා නයිලෝන් යට කලිසම් ඇඳීමට හුරු වී සිටිනවා. නමුත් මෙම රෙදි වලින් මැසූ යට කලිසම් වැඩි වේලාවක් ඇඳගෙන සිටීම අහිතකරයි. එවැනි කලිසම් නිසා යෝනිය ආශ්‍රිත සමේ දද සහ කුෂ්ඨ වැනි සමේ රෝග හට ගැනීමේ වැඩි අවදානමක් පවතිනවා. එයට හේතුව වන්නේ එම රෙදි හරහා දහදිය පිට නොවීමයි. මේ නිසා පාසල් යන දැරියන් සහ රැකියාවල නිරත වන යුවතියන්ට වඩාත් සුදුසු වන්නේ සමට අහිතකර නොවන කපු හෝ විස්කෝස් රෙදි වලින් මැසූ යට කලිසම්ය.


යට කලිසම් අඳින්නේ විලාසිතාවට නොව, සිරුරේ ආරක්ෂාවටයි.

  • යට කලිසමක් ඇඳීමේ අරමුණ සිරුරේ ආරක්ෂාව තර කර ගැනීම බව අමතක කරන්න එපා.
  • පිට රටවලින් ආනයනය කළ විසිතුරු යට කලිසම් නොව, අපේ රටේ දේශගුණයට ගැලපෙන යට කලිසම් මිලදී ගැනීමට උනන්දු වන්න.
  • සිරුරට තද හා අනවශ්‍ය ලෙස සිහින්ව මසා ඇති යට කලිසම් ඇඳීමෙන් උඩ ඇඳුම තුලින් අවලස්සන ස්වභාවයක් දක්නට ලැබේ. එවැනි යට කලිසම් වලින් සිරුරට ආරක්ෂාවක් හිමි වෙන්නෙත් නැහැ.

යට කලිසම් වල පිරිසිඳු බව ගැන සැලකිලිමත් වන්න.

  • පදික වේදිකාවේ විකිණීමට ඇති යට කලිසම් වල දුවිලි අධික ප්‍රමාණයක් අඩංගු වෙනවා.
  • මිලදී ගත් යට කලිසම් ඇඳීමට පෙර අනිවාර්යයෙන්ම සෝදන්න.
  • වරක් පාවිච්චි කළ යට කලිසමක් සොදන්නේ නැතුව යලි අඳින්න එපා.

ටයිට් ෂෝර්ට්

  • සෑම ඇඳුමකටම සාමාන්‍ය යට කලිසම (පෑන්ටිය) ඇඳීම සුදුසු නැහැ.
  • තදට හිර වුණු සායවල් වලට, තද දිග කලිසම් වලට සාමාන්‍ය පෑන්ටිය ඇඳීම නිසා එය ඇඳුමට උඩින් ඉලිප්පී පෙනෙනවා. එය නිසාම ඇය සමාජයේ විහිලු තහලු වලට ලක් වෙන්න පුළුවන්. මේ සඳහා හොඳම විසඳුම ටයිඩ් ෂෝර්ට් එකයි.
  • උකුල් ප්‍රදේශය මහත කාන්තාවක් ඩෙනිම් හෝ කොඩ්රොයිල් වැනි ගොරෝසු කලිසමකට සාමාන්‍ය කලිසම් ඇඳීමෙන් උකුල් පෙදෙස තවත් මහත් වී පෙනෙන්නට පුළුවන්.
  • පිටු පසින් පැලූ ටයිඩ් සායකට යට සායක් ඇඳීම අවලස්සන වෙනවා. එයට හේතුව වන්නේ මඳක් එහා මෙහා වූ විට පැලූ ස්ථානයෙන් යට සාය අශෝබන ලෙස දිස් වීමයි. මේ නිසා පිටු පසින් පැලූ ටයිඩ් සායකට යට සායක් වෙනුවට ටයිඩ් ෂෝර්ට් එකක් ඇඳීම සුදුසු වෙනවා.
  • උදරය මහත කාන්තාවන් සඳහා වඩාත් සුදුසු වන්නේ ගර්ඩල් එකක් සහිත ටයිඩ් ෂෝර්ට් එකක්ය. එමඟින් උදරයේ මහත අඩු කර පෙන්වනවා.
SHARE