උත්සව අවස්ථාවකදී හැසිරිය යුතු පිළිවෙල

නෑම තරුණියක් උත්සවයකට සහභාගී වෙන්නේ ලස්සනට හැඳ පැළඳගෙනයි. ලස්සනට මේක් අප් දාලා, ලස්සනට ආභරණ පැළඳගෙන කැපී පෙනෙන විදිහට උත්සවයකට සහභාගී වෙන්නේ සුරංගනාවියෝ වගෙයි. ඒත් ඇත්තටම ලස්සනට සැරසිලා, හැසිරිය යුතු ආකාරය ගැනත් අවධානය යොමු කළොත් තරුණියකගේ සුන්දරත්වය තවත් ඔප් නැංවෙනවා. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


  • ලස්සනට ඇඳගෙන උත්සවයකට සහභාගී වෙලා විතරක් මදි. ලස්සනට හැසිරෙන්නත් ඕනේ. හොඳින් ඇඳගෙන ආඩම්බරකමින් පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්න එක නම් එතරම් හොඳ පුරුද්දක් නෙවෙයි. ඔබත් එක්ක හිනා වෙන අයත් එක්ක හිනා වෙන්න. හිනා මුසු මුහුණින් ඉන්න. ලස්සන හිනාවකට පුළුවන් ඔබේ ඇඳුමින් සහ මේකප් වලින් ඔබට ලැබුණු සුන්දරත්වය වැඩි කර පෙන්වන්න.
  • සමහරුන් තමාගේ ඇඳුම් වල, ආභරණ වල සුන්දරත්වය ගැන සිතමින් ඉන්නවා මිස, තමා අවට සිටින අය වෙත කිසිදු අවධානයක් යොමු කරන්නේ නැහැ. ඔබ දන්නා අය සමඟ කතා බහ කරන්න මැලි වෙන්න එපා. ඔබ ප්‍රිය කරන මිතුරන් සහ ඥාතීන් සමඟ එක් වන්න.
  • ඔබ අසල ඇති මේස වල සිටින අය සමඟ කතා බහ කරන්න. ඈත මේස වල ඔබ හොඳින් හඳුනන අය සිටිනවා නම්, ඔවුන් වෙත ගොස් කතා කිරීම වරදක් නෙවෙයි.
  • නමුත්, උත්සව ශාලාව පුරා ඇවිදිමින් සියල්ලන් සමඟ කතා බහට යෑමත් එතරම් සුදුසු නැහැ. මුළු ශාලාවේම අවධානය ඔබ වෙත යොමු වෙන සේ ඇවිදීම, කතා කිරීම, සිනාසීම වැනි ක්‍රියා වල යෙදෙන්නත් එපා.
  • උත්සව අවස්ථාවකදී ඔබ නොදන්නා අයත් බොහෝ සිටින නිසා කතා බහේදී සංවර වෙන්න. අත පය දිගු කරමින්, කොක් හඬලා සිනා සෙමින්, එකිනෙකා වෙත අත් දිගු කර පෙන්වමින් හැසිරෙන එක අඩු කරන්න.
  • යමෙකු ඔබේ පෙනුම, ඇඳුම හෝ ආභරණ වර්ණනා කළොත් නිහතමානි ලෙස සිනා සී ඔහුට හෝ ඇයට ස්තුති කරන්න.
  • ඔබට ඕනෑ තරම් ප්‍රශ්න ඇති. ඔබේ දුක් ගැනවිලි තව කෙනෙක්ට කිව්වම නිදහසක් ලැබෙනවා තමයි. ඒත්, උත්සවයක් කියන්නේ ඔබේ දුක් ගැනවිලි බෙදා ගන්න සුදුසු තැනක් නම් නෙවෙයි. විනෝද වීමේ අරමුණින් පැමිණි අනෙක් අයට එය කරදරයක් වෙන්න පුළුවන්.
  • උත්සවයකදී ඔබ සහ අන් අය අතර තිබිය යුත්තේ සරළ සහ විනෝදශීලි සංවාදයක්. ඔබේ වියත් බව පෙන්වීමට අනිත් අය නොදන්නා මාතෘකා සාකච්චා කරන්නට යන්න එපා. එය අන් අයට නීරස අත් දැකීමක් වේවි.
  • උත්සවයේදී අතට අත දී හෝ වැළඳගෙන ආචාර කිරීම පොදු සිරිතක්. ඔබ නොදන්නා පිරිමියෙකු ඔබට අතට අත දෙන තුරු, ඔබ අත පෑමෙන් වැලකී සිටීම සුදුසුයි.
  • ඔබට ඉක්මනින් පිටත්ව යෑමේ අවශ්‍යතාවයක් තිබෙන්නට පුළුවන්. නමුත් කිසිවෙකුට නොදන්වා, උත්සව ශාලාවෙන් පිටවී යාම සුදුසු නැහැ. එය ආචාරශීලී ක්‍රියාවක් නෙවෙයි. ඒ නිසා පිටව යාමට පෙර ඔබේ මිතුරු මිතුරියන්ටත්, ඥාතීන්ටත් දන්වන්න.  
SHARE