කුඩා දරුවෙක් කියන්නේ අම්මා කෙනෙකුට කොච්චර වගකීමක්ද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. කවන්න පොවන්න, අනතුරක් කරගනීවිද කියල ඇහැ ගහගෙන ඉන්න වගේ සෑහෙන වැඩ කොටසක් අම්මලාට පැවරෙනවා.

ඔය අතරට ගෙදර දොර වැඩ කටයුතුත් එකතු වුණාම තමයි ප්‍රශ්නය ටිකක් සංකීර්ණ වෙන්නේ. ගෙදර දොර වැඩ කටයුතු කොච්චර තිබුණත් දරුවා ගැන නොබලත් බැහැ, එහෙමයි කියල පැය 24ම දරුවා ළඟටම වෙලා ඉන්නත් බෑ.
fb-like-beg


ඉතින් අම්මලාට සිද්ද වෙනවා දරුවා ඇකයේ තියාගෙනම ගෙදර දොර එදිනෙදා වැඩ ටිකත් නොපිරිහෙලා කරන්න. ඉතින් ඔහොම අවස්ථාවකදී නොසිතා වුණත් තත්පරයකට හෝ අම්මගේ අවධානය එහා මෙහා වුණොත් දරුවා අනතුරට ලක්වෙන්නට පුළුවන්. මෑත කාලයේදී මාධ්‍ය මගින් එවැනි සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා සමහරවිට ඔබට මතකත් ඇති.

කොහොමහරි අවදානමට පෙර සූදානම කියන්නා වගේ හැම වෙලේම මුල් තැන දිය යුත්තේ දරුවාටයි. මොකද නැතිනම් සිද්ද වෙන්නේ තත්පරයක අවධානය ගිලිහී යාම නිසා ඔබට ජීවිත කාලයටම පසු තැවීමට සිදු වීමයි. ඒ නිසා අපි කල්පනා කළා දරුවා සමඟ ගෙදර දොර වැඩ කටයුතුවල නිරත වෙන අම්මලා අනිවාර්යයෙන්ම සිහියේ තබා ගත යුතු කරුණු කිහිපයක් ගැන පවසන්න.

ඒ කරුණු පිළිබඳව වඩාත් අවධානයක් යොමු කරමින් කටයුතු කිරීමෙන් ඔබට මෙන්ම ඔබේ දරුවාටත් මහගු ආරක්ෂාවක් සැලසෙනවා නියතයි.


01. දරුවා අතේ තබාගෙන ගෑස් ලිප දල්වන්නට යන්න එපා. යම් හෙයකින් ගෑස් කාන්දුවීමක් සිදුවුවහොත් අම්මත් දරුවාත් දෙදෙනාම අනතුරට ලක්වෙන්නට පුළුවන්.

02. දරුවා අතේ තබාගෙන විදුලිය ආශ්‍රිත වැඩ කටයුතු වල කිසිම දවසක යෙදෙන්නට යන්න එපා. විදුලිය කාන්දුවීමක් වුවහොත් දෙදෙනාටම විදුලි සැර වදින්නට පුළුවන්.

03. දරුවා අත පොවන මානයේ ඖෂධ වර්ග තබන්නම එපා. ඔබේ අවධානය ගිලිහී ගිය මොහොතක දරුවා එම ඖෂධ ගිල දමා අනතුරට ලක්වන්නට විශාල ඉඩ කඩක් පවතිනවා.

04. දරුවා අතේ තබාගෙන ජංගම දුරකථනයේ විශාල වෙලාවක් රැඳී සිටින්නට එපා. එවිට ඔබේ අවධානය යම් මොහොතක දරුවාට වඩා ඇමතුමට යොමු වන්නට පුළුවන්. ඇතැම් විට දරුවාගේ දැඟලීම නිසා දරුවා අතින් බිමට වැටෙන්නට පවා පුළුවන්.

05. උණුසුම් පාන සාදන වේලාවට දරුවා ඇකයේ හොවාගෙන ඒවා පිළියෙළ කරන්නට යන්න එපා. උණු වතුර විසිවීම, හැලීම නිසා දරුවා පිලිස්සීම්වලට ලක්වන්නට පුළුවන්.

06. කිසිම දිනෙක උණුවතුර බඳුනක් ළඟ දරුවා තනිව දමා යන්නට එපා. එය ඇල්ලීමට, අත දැමීමට ගොස් දරුවා දරුණු ලෙස පිලිස්සෙන්නට පුළුවන්. එයට ඇද වැටීමෙන් ජීවිතය පවා අහිමි විය හැකියි.

07. පිහි ආදී තියුණු උපකරණ දරුවාට හසු නොවන ස්ථානවල තැබීමේ වගකීමත් ඔබ සතුයි. එසේ නැතිනම් අතපය කපා ගැනීම් හා වෙනත් තුවාල වීම්වලට දරුවා ලක්වන්නට පුළුවන්.

08. පබළු, හැට්ට කටු, අල්පෙනිති, මාරු කාසි ආදිය දරුවාට ලඟා විය හැකි ස්ථානවල තබන්නට එපා. ඒවා ගිල දැමීම නිසා දරුවා අනතුරට පත් විය හැකියි.

09. ධාන්‍ය ඇට වර්ග අව්වේ වනනවානම් දරුවා ඒ අසලට නොයන ලෙස තහවුරුවක් ලබාගෙන එසේ කරන්න වග බලා ගන්න. ඒවා ගිලීම නිසාත් දරුවා අනතුරට පත්විය හැකියි.

10. උල් කරන ලද පැන්සල්, පෑන් ආදිය දරුවාට සෙල්ලම් බදු ලෙස දෙන්නට එපා. ඇස් තුවාල කරගැනීම් ආදිය වන්නට පුළුවන්.

11. නිවසේ තරප්පු පෙළක් හා පඩි වැනි උස් ස්ථාන ඇත්නම් දරුවාට ඒවාට පිවිසීමට නොහැකිවන සේ අවහිර කර තැබීමට වග බලා ගන්න. ආරක්‍ෂිත වැටකින් වසා තබන්න.

12. නිවසේ බිත්තියේ පහලින් ඇති විදුලි පේනු සෙලෝටේප් ගසා වසා තබන්න. ඒවාට ඇඟිලි ගැසීමට යාමෙන් දරුවාට විදුලි සැර වැදිය හැකියි.

13. රාමු කරන ලද ඡායාරූප සාලයේ බිමින් තබන්නට එපා.ඒවායේ වීදුරු බිඳුනහොත් කැපීම් තුවාල ඇතිවෙන්නට පුළුවන්.

14. නිවසේ සිටින්නේ ඔබ සහ දරුවා පමණක් නම් අවශ්‍යතාවකට හැරුණු විට අනෙක් හැම විටෙකම දොරවල් වසා තබන්න.

15. නිවසේ ගේට්ටුවද දරුවාට පිටවීමට නොහැකි ලෙස අවහිර කර ඇති බවට සුපරික්ෂාකාරී වන්න.


අම්මලාට සැලකිලිමත් වෙන්න කියල කිව්වට අම්මලාටම නෙවෙයි මේවා ගැන හොයල බලන එක තාත්තලාටත් අයිති වැඩක් තමයි ඉතින්.

SHARE