වැදගත් කාන්තාවක් කියන්නේ රටකට සම්පතක්. මොකද ඇයගේ යහපත් පුරුදු ඇගේ දරුවන් විසින් උරුම කර ගන්නවා. ඒ දරුවන් ඒ සිරිත් සමාජයට ගෙන යනවා. වැදගත්කම ආරම්භ කළ යුත්තේ ගෙදර සිටයි. අපේ වෙබ් අඩවිය කියවන ඔබට අපි නිතරම අනුබල දෙන්නේ තමාගේ වැදගත්කම රැකගෙන හැම විටම සමාජයේ ගෞරවයට, ප්‍රසංසාවට ලක් වෙන්න කියලයි.

fb-like-beg


01) සැමියාට හැම විටම ආදර බර වචන වලින් කතා කිරීම

අප අසා තිබෙනවා ඇතැම් කාන්තාවෝ පිරිස ඉදිරියේ පවා සැමියාට කතා කරන්නේ දාසයෙක්ට වගේ.
ඔහු ආදරය නිසා එය දරාගෙන ඇති නමුත් එයින් හෑල්ලු වෙන්නේ ඔබේ වැදගත්කම මිස ඔහුගේ වැදගත්කම නම් නෙවෙයි. ඒ වගේම ගෙදර තනිවම සිටින විටත් හැම විටකම යහපත් වචනයෙන්ම ඔබ ඔහුව ගෞරවනීයව ඇමතිය යුතුයි. නැත්නම් දරුවෝ ඔබේ නරක කතා විලාසය සාමාන්‍යකරණය කර ගන්නවා. පසුව ඔවුන් විවාහ දිවියට පත් වුනාම පවුල් කැඩීම දක්වා ඔබේ මේ නරක සිරිත හානි දායක වෙන්න පුළුවන්.

ගෞරවනීයව ඇමතෙන ස්වාමියාගේ යටි හිතේ අභිමානයක් ඇති වෙනවා. භාර්යාව කෙරෙහි ආදරයක් ඇති වෙනවා. ගෞරවයෙන් සැලකෙන ස්වාමියා බොහෝ විට අගෞරවනීය වැඩ කරන්නේ නැහැ.
මගේ සීය සහ අත්තම්මා කියන්නේ දිවි හිමියෙන් එකිනෙකා කෙරෙහි කැප උණ අඹු සැමියෝ. ඔවුන් එකිනෙකාට ඇමතුවේ බොහොම ගෞරවයෙන්.

“අපේ මහත්තයා “ කියල ඇය කතා කරද්දී ඔහු උත්තර දෙන්නේ “ සීදේවි නෝනා මට කතා කරයි?” කියලයි.

මේ ආදරනීයත්වය , වැදගත්කම ගිලිහෙන්න නොදී රැක බලා ගත යුතුයි. කිසිම විටක කවට කමකට ඇරෙන්න තමුසේ, ඕයි, මිනිහෝ වගේ වචන වලින් ඔහුට අමතන්න නම් එපා. එය ඉතාම නොවැදගත් ඇමතීමක්.


02) ඔහු කරන කැපකිරීම් වලට “ඔබට ස්තූති” කියා කීම

සැමියා කියන්නේ ඔබ වෙනුවෙන් දෙමාපියන්ට පස්සේ වැඩිම කැප කිරීම් කරන මනුෂ්‍යයා කියල මතක කරන්න එපා. ඒත් එක්කම මතක් කර ගන්න ඔහු මේ දේවල් අනිවාර්යයෙන්ම කල යුතු නැහැ වගේම යුතුකම පැහැර හරින ස්වාමියෝ කොතෙකුත් ඉන්නවා මේ ලෝකේ කියල. එම නිසා මුළු හදවතින්ම ඔහු ඔබ වෙනුවෙන් කරන දේවල් වලට ස්තුති වන්ත වෙන්න. කරන දේවල් වලට වචනයෙන් හරි ස්තුති කරන්න. ලොකු දෙයක් නම් අගය කරන්න පුංචි දෙයක් දෙන්න.

උදාහරනෙකට හිතන්න ඔහු ඔබේ අම්මව රෝහලට ගෙන ගියා කියල. ඔහුගේ නිදහස් සෙනසුරාදාව කැප කරමින්. ඔහුව අගය කරන්න. “ අනේ ඔයා ගියපු එක කොච්චර හොඳද? ඔයාගේ විවේකෙන් ඉන්න දවස මම වෙනුවෙන් වැය කළා නේද වගේ වාක්‍යකින් සංග්‍රහ කරන්න වියදමක් යන්නේ නැහැ.

ඒ වගේම “ මම ඔයා වෙනුවෙන් විශේෂ ආහාරයක් හැදුවා. මොකද ඔය ගොඩක් අද මා වෙනුවෙන් වෙහෙසුන නිසා” කියල ක්‍රියාවෙන්ම අගය කරන්නත් පුළුවන්.

ඇතැම් භාර්යාවෝ ඉන්නවා ඔවුන් හිතන්නේ සැමියා කරන දේවල් ගැන නෙවෙයි නොකරන දේවල් ගැන විතරයි. හිතන්න ඔහු දවසම රෝහලේ ඔබේ මව තියාගෙන ඉඳලා එනවා. මගදී ඔබ කියපු දෙයක් වෙළඳ සලෙන් රැගෙන එන්න අමතක වෙනවා. එවිට නොවැදගත් බිරිඳක් නම් ප්‍රතිචාර දක්වන්නේ
“ ඔයා ඉන්නේ කොයි සිහියෙන්ද? දැන් මේක නැතුව කොහොමද මගේ වැඩේ කෙරෙන්නේ? වගේ අකාරුණික වචනෙකින් සංග්‍රහ කරලයි.

නමුත් වැදගත් බිරිඳ නම් “ අනේ ඔයාට මහන්සි ඇති. ඒ නිසා අමතක වුනාද? ඔයා එහෙනම් ඇඟ හෝදන් එන්න මම තේ හදන්නම්. තේ බීල පුළුවන් උනොත් අපි දෙන්නම හවස ගිහින් ගෙනෙමු.

වැඩෙත් කෙරෙනවා. ස්වාමියා ඔබට වඩා ආදරය කරනවා. ඔබේ ගෞරවෙත් රැකෙනවා.


03) එකිනෙකාගේ පෞද්ගලික අවකාශයට ගරු කරන්න.

ඔබේ සැමියා ඔබව විවාහ කර ගත පමණින් ඔහුගේ පර්ස් එක බලන්න, ඔහුගේ පරිඝණකය, ෆෝන් එක බලන්න, ලියුම් කඩන්න ඔබට අයිතියක් නැහැ. ඇතැම් විට ඔහු රාජකාරි ගැටළුවක් සමග ගැටෙනවා ඇති. එවැනි වෙලාවට ඔහුගෙන් ප්‍රශ්න කරමින් කරදර කරන්න ඔබට අයිතියක් නැහැ.

ඒ වගේම දරුවෝ කුඩා වුනත් ඔවුනට පුද්ගලිකත්වයක් තිබෙනවා. හැම දේටම ඔබ අත ගසන්න එපා. පුද්ගලිකත්වය හැම විටම අගය කරන්න. නැත්නම් පවුල කියන එක දරන්න බැරි කරදරයක් වේවි.


04) එකිනෙකාට අයිති දේවලට ගරු කරන්න.

හිතන්න ඔබේ දරුවා මුද්දර එකතු කරනවා. නැත්නම් සැමියා කිසියම් සමාජෙක සාමාජිකයෙක්. මේ දේවල් ඔබට සතේකට වටින්නේ නැති වෙන්න පුළුවන්. එහෙම කියල දරුවාගේ මුද්දර ටික විසි කර දමන්න ඔබට අයිතියක් නැහැ. සැමියාට උදේ හවස එම සමිතියෙන් හෝ යාලුවන්ගෙන් ඉවත් වෙන්න කියල බල කරන්න අයිතියක් නැහැ ( එයින් පවුලට සහ සමාජයට හානියක් නොවෙන තුරු)
පවුලේ සාමාජිකයෝ එකිනෙකාට අයිති දේවල් ගැන ගෞරවනීයව කටයුතු කල යුතුයි.


05) කෙනෙක් කතාකරන විට මැදට පැන ඊට බාදා කරන්න එපා.

සංවාදයකදී හැම විටම අනික් කෙනාට කියා අවසාන කිරීමට ඉඩ දෙන්න. මැදින් පැනල කියවන්න යන්න එපා. මේ ප්‍රශ්නය කාන්තාවන් අතරේ පොදු තත්වයක්. නමුත් හිතලම මේ ගති ගුණය හදා ගත යුතුයි.


06) රාත්‍රී ආහාරය සඳහා නියමිත වේලාවට පැමිණෙන්න.

රාත්‍රී ආහාරය එකට ගැනීම පවුලේ සිරිතක් කර ගන්න. සියලුම සාමාජිකයන්ට ඒ වෙනුවෙන් නීතියක් පනවන්න. රාත්‍රී කෑම මෙසේදී සියලුම දෙනා සුහද පිලිසන්දරක් පවත්වන්න.

කිසිම විටක වැදගත් පවුලක සාමාජිකයෝ බත් එකක් පිගානකට බෙදාගෙන TV එක ඉස්සරහ වාඩි වෙන්නේ නැහැ. රාත්‍රී ආහාරය ඒකට ගැනීම අනිවාර්යයෙන් කරන්න.


මෙම ලිපියේ දෙවන කොටස සදහා පිවිසෙන්න :-

වැදගත් කාන්තාවකගේ හොඳ පුරුදු – 2 කොටස

SHARE