කාලය ගෙවී යන්නේ හරිම ඉක්මනින්. සමහර වෙලාවට අපිට කාලය ගෙවී යන වේගය ගැන එතරම් සැලකිල්ලක් නැහැ. එත් වැඩ රාජකාරි ගොඩක් හිස මත පැටවුණු වෙලාවට කාලය මඳි කම නිසාම අපි මොන තරම් පිඩාවට පත් වෙනවාද? විභාගයක් කරන සිසුවෙක්ට/ ධාවන තරඟයක නිරත වන ක්‍රීඩකයෙකුට ඔවුන්ගේ අන්තිම තත්පරය මොන තරම් වටිනවාද? ගෙවී යන කාලය ආයෙත් ලබා ගන්න බැරි නිසා, කාලය ඉතිරි වන සේ වැඩ කිරීම තමයි හොඳම විසඳුම. අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත කාලය ඉතිරි කර ගැනීමේ ක්‍රම කීපයක් හඳුන්වා දෙන්නට තීරණය කළා.


fb-like-beg


1 මුලින් කල යුතු දේ තීරණය කිරීම

වැඩ රාජකාරි රැසක් ඔබේ හිස මත පැටවී තිබෙන වෙලාවක ඔබ මුලින්ම කල යුත්තේ මේවායින් වැඩිපුරම හදිසි සහ වැදගත් රාජකාරි වෙන් කර තෝරා ගැනීමයි. එවිට හදිසි වැඩ පසුවට ඉතිරි වී, ඔබ කරදරයේ වැටෙන්නේ නැහැ. ඉක්මනින් කල යුතු දේවල් පිළිවෙලට ඉටු කිරීමෙන් ඔබට මානසික ආතතියක් ඇති වන්නේ නැහැ.

2 වගකීම් පැවරීම

ඔබ හැම දේම බෙදාගෙන කරනවාට වඩා වගකීම් අන් අයට පවරා දිය හැකි නම් විශාල කාල වෙලාවක් ඉතිරි කර ගත හැකියි. ඔබ නිවසේ මවක් නම්, ඔබේ දරුවන්ටත් යම් යම් වැඩ පවරන්න. නිවෙස අස් පස් කිරීමට, කෑම පිසීමට ඔවුන්ගේත් උපකාරය ලබා ගන්න. එයින් ඔවුන් විනෝද වෙනවා වගේම, ඔබේ කාලය ඉතිරි කර ගැනීමටත් හැකියි.

3 ඔබේ වැඩ කොටස් වලට බෙදා ගන්න

ඇතැම් වැඩ තිබෙනවා එක දිගට ඉටු කිරීමට අපහසු වෙන. එකම වැඩේ එක දිගට කරගෙන යනකොට, එයට තිබෙන උනන්දුව සහ ආශාව හීන වී යනවා. එතකොට වැඩේ කරන වේගයත් ඉබේටම බාල වෙනවා. මෙය නිසා කාලය නාස්ති වෙනවා. මේ සඳහා හොඳම පිළියම තමයි විශාල රාජකාරි කුඩා කොටස් වලට බෙදා වෙන් කර ගැනීම. ඔබ කරන වැඩ විවේක ගනිමින්, මානසික සැහැල්ලුවකින් යුතුව සිදු කරන්න.

4 එකට කල හැකි දේවල් එකවර කිරීම

සමහර විට ඔබට වැඩ රාජකාරි කීපයකින් සමහරක් එකම අවස්ථාවේ කල හැකි වෙන්න පුළුවන්. සිතන්න, ඔබට කඩේට ගොස් බඩු මිලදී ගැනීමටත්, සැලුන් එකට යෑමටත් ඇති බව. එවිට ඔබ මේ කාර්යයන් දෙකට දෙවරකදී යා යුතු නැහැ. ඔබට පුළුවන් කඩේ ගොස් එන ගමන් සැලුන් එකටත් යන්න. නිවසේදීත් ඔබට මේ උපක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. ඔබ ජලය පානය කිරීම සඳහා මුළුතැන්ගෙයට යන අතරතුරදී, මඟදී කල හැකි වෙනත් රාජකාරියක් තිබෙනවා නම් එයත් ඉටු කරන්න.

5 බාහිර සිදුවීම් නිසා කල යුතු දේ පැහැර නොහරින්න

අද දවස තුල නිම කල යුතුව සහ හැකිව තිබෙන වැඩ හෙට දවසට කල් යන හේතුව වන්නේ, අප බාහිර සිදුවීම් මත පදනම්ව කල යුතු වැඩ රාජකාරි පැහැර හරින නිසයි. හදිසිම අවස්ථා වලදී හැරෙන්නට, බාහිර සිදුවීම් අපේ වැඩ වලට බාධාවක් කර ගැනීම සිදු වෙන්නට ඉඩ දෙන්න එපා. බොහෝ දෙනෙක්ගේ වැඩ අතපසු වීමට ප්‍රධානතම හේතුව ජංගම දුරකතනයයි. කෝල් එකක් ආපු විට කර කර ඉන්න වැඩේ නතර කරලා, දුරකථනය අරගෙන ඈතට යනවා. කෝල් එක ඉවර වුනාම ෆේස් බුක්/ අන්තර්ජාලයේ සැරිසරනවා. අවසානයේදී නොදැනීම කාලය ගෙවී ගිහින් අවසානයි. ඉතින් ඔබ අන්තිමේදී කියන්නේ “අර කෝල් එක ආවේ නැති නම් මගේ වැඩ පාඩු වෙන්නේ නැහැ.” කියලයි.

6 නිවැරදි වෙලාවට වැඩ නිම කල විට ඔබටම ත්‍යාගයක් ලබා දෙන්න

මෙය ඔබට නියමිත කාල වෙලාවට වැඩ ටික කර ගන්න හොඳ පෙළඹවීමක් ඇති කරන බව නියතයි. කල් වෙලා ඇතිව වැඩ නිම කල විට ඔබට වෙලාව ඕනේ තරම් ඉතිරි වේවි. ඒ කාල සීමාව සුන්දර අත්දැකීමක් විඳ ගැනීම වෙනුවෙන් වෙන් කරන්න. ඔබ කැමති තැනක ඇවිදින්නට යන්න, ඔබ කැමති විනෝදාංශයක නිරත වන්න, ඔබ කැමති රසවත් ආහාරයක් සකසාගෙන හෝ මිලදීගෙන එය නිදහසේ රස විඳින්න. ඊළඟ දිනයේත් නියමිත වෙලාවට වැඩ අවසන් කිරීමට ඔබට ලොකු උනන්දුවක් ඇති වේවි.

   

SHARE