ගෘහණියකට කාලය ගොඩක් වැදගත්. රැකියාවකට යන ගෘහණියකට කාලය ඊටත් වඩා වැදගත්. හැමදේම කරන අතරේ නිවස අස් පස් කර ගන්න වෙනම කාලයක් වෙන් කරන එක අපහසු වෙන්න පුළුවන්. සමහර වෙලාවට අප නොදැනීම අපේ කාලය නාස්ති වෙලා යනවා. ඉතින් අද goodhousekeeping.lk අපි තීරණය කළා ඔබේ වටිනා කාලය ආරක්ෂා කරගෙන, ඉක්මනින් වැඩ ටික කර ගන්න උදව් වෙන උපක්‍රම කීපයක් ඔබ වෙත ගෙන එන්න.


fb-like-beg


1 බාත්රූම් එක ඉක්මණින් පිරිසිඳු කර ගන්නේ මෙහෙමයි

ඔබේ නාන කාමරය පිරිසිඳු කරන එක ඔබ නිතරම කලේ නැත්නම්, එහි ඉක්මණින්ම පැල්ලම් සහ පාසි බැඳෙන්න පුළුවන්. එයට හේතුව වන්නේ එය නිතරම ජලය ගැවසෙන ස්ථානයක් වීමයි. මේ ඇති වුනු පැල්ලම් සුද්ධ කරන්න ඔබට වෙනම දවසක් කැප කරන්න සිදු වෙනවා. එය ඔබේ කාලය ගොඩක් නාස්ති කරවන ක්‍රමයක්. මේ නිසා අද පටන් මේ ක්‍රමය පටන් ගන්න. ඔබේ නාන කාමරය පිරිසිඳු කිරීමට අවශ්‍ය බ්‍රෂ් වර්ග සහ පිරිසිඳුකාරක දියරයන් නාන කාමරය තුලම තබා තියන්න. එවිට ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක නාන කාමරය පිරිසිඳු කල හැකියි. ඔබ ඔබේ දවසේ වැඩ රාජකාරි පටන් ගන්නට පෙර බිමට, සින්ක් එකට සහ වැසිකිලි බඳුනට පිරිසිඳු කාරක දියර ඉස තබන්න. ඔබේ සෙසු රාජකාරි අවසන් වී, ඔබ ස්නානය කිරීමට පෙර නාන කාමරය ඉක්මනින් අතුල්ලාගෙන සෝදා දමන්න. නිතර මෙය සිදු කරන විට ඔබේ නාන කාමරයේ පැල්ලම් ඇති වන්නේ හෝ ඉක්මනින් අපිරිසිඳු වන්නේ නැහැ. නාන කාමරය පිරිසිඳු කිරීමට ඔබට වෙනම කාලයක් ගත වන්නේත් නැහැ.

2 ඔබට අවශ්‍ය දෑ ළඟින්ම තබා ගන්න

මුළුතැන්ගෙයට අවශ්‍ය බඩු දුරින් ඇති කාමර වල තබන්න එපා. ඒවා මුළුතැන්ගෙය ඇතුලෙම ගබඩා කර තබා ගන්න. නාන කාමරයේ වැඩිපුර සබන් කැබැල්ලක් සහ ටිෂූ තබන්න. එවිට එහුඉ ඇති සබන් සහ ටිෂූ ඉවර වූ විගස, නැවත ඒවා ගෙනෙන්නට ගබඩා කාමරය වෙත යන්න අවශ්‍ය නැහැ. අනවශ්‍ය දේ සඳහා ඔබ කෙතරම් නම් නිවස තුලම එහාට මෙහාට ඇවිදිනවා ඇතිද? එය වළකා ගැනීම ඔබේ වටිනා කාලය ඉතිරි කර දෙනවා.

3 පිරිසිඳු කිරීම් කිරීමට පෙර පොඟවා තබන්න

පිරිසිඳු කිරීම් සිදු කිරීමට පෙර ඕනෑම දෙයක් පෙඟවීම ඔබේ පිරිසිඳු කිරීම් පහසු කරවනවා. ඔබට පුළුවන් ජනේල පිරිසිඳු කිරීමට පෙර ඒවාට වතුර ඉසින්න. ඒ වගේම වලං පිරිසිඳු කිරීමටත් ඇති පහසුම ක්‍රමය වන්නේ ඒවා උණු ජලයේ පැය භාගයක් පමණ පොඟවා තැබීමයි. රෙදි සේදීමට පෙර රෙදි පිරිසිඳු කාරක දියර වල පොඟවන්න. එයින් ඔබට පහසුවෙන් පිරිසිඳු කිරීම් කල හැකි වන අතර, කුණු සහ පැල්ලම් පහසුවෙන් ඉවත් කල හැකි වෙනවා. ඔබට පුළුවන් ඒවා පෙඟෙන තුරු වෙනත් කාර්යයක නිරත වන්න. එමඟින් ඔබේ කාලය ඉතිරි වේවි.

4 එක දවසකට එක වැඩක්

පිරිසිඳු කිරීම් කරන්න කල් දාන එක අපේ සමහර ගෘහණියන්ගේ පුරුද්දක්. ඒකට හේතුව තමයි පිරිසිඳු කිරීම් මහා බර වැඩක් ලෙස දකින එක. ඉතින් ඔබට පුළුවන් ඔබේ තියෙන පිරිසිඳු කිරීම් රාජකාරි පුංචි පුංචි කොටස් වලට බෙදාගෙන දවසට එක බැගින් නිම කරන්න.

උදා: පළමු දිනයේ ඔබේ මුළුතැන්ගෙයෙහි සින්ක් එක පිරිසිඳු කරන්න. දෙවෙනි දවසට ලිප පවිත්‍ර කරන්නට යොදා ගන්න.

දෙවෙනි දිනයේදී, පිරිසිඳු කල සින්ක් එක දකින විට ඔබට අනිවාර්යයෙන්ම ලිප පිරිසිඳු කිරීමට උනන්දුවක් ඇති වෙනු නියතය.

5 දවසට පැය කාලකට ඔබේ පවුලේ සාමාජිකයන්ගේ සහාය ලබා ගන්න

මෙය ඔබේ රාජකාරි පහසු කරවන කදිම ක්‍රමයක් වේවි. මෙයට සුදුසුම වෙලාව වන්නේ පවුලේ සාමාජිකයන් සියල්ලන්ම නිවසේ සිටින රාත්‍රී 7 සිට 7.15 වැනි කාල සීමාවකි. ඔබේ දරුවන් ලවා දරුවන්ගේ කාමර, ඔවුන්ගේ පොත් මේස පිරිසිඳු කරවන්න. ඔවුන් දවස පුරා ක්‍රීඩා කල ක්‍රීඩා භාණ්ඩ නියමිත ස්ථාන වල ඔවුන් ලවාම තැම්පත් කරවන්න. එය මහා ලොකුවට කිරීමට ඔවුන්ට බල කරන්න එපා. ඔවුන්ට හැකි අයුරින් දළ පිරිසිඳු කිරීමක් කරන්නට ඔවුන්ව උනන්දු කරවන්න. ඔබේ සැමියා ලවා සාලයේ ඇති බඩු භාණ්ඩ නිසි ස්ථාන වල තියවන්න ඔබට පුළුවන්. එහෙම නැත්තම් ඔබ කරන කුමක් හෝ කාර්යයකට ඔහුගේ සහාය ලබා ගන්න.       

SHARE