කෘත්‍රිම ආභරණවලට අද ඇත්තේ විශාල ඉල්ලුමක්‌. මාල, වළලු, කරාබු මේ කොයි දේත් විවිධ වර්ණවලින්, විවිධ විලාසිතාවලින් අද ලබාගන්නට පුළුවන්. ඇත්තට ම ඇඳුමේ වර්ණයට, විලාසිතාවට ගැලපෙන්නට මේ ආභරණ තෝරාගත හැකිවීම පහසුවක්‌.

ඔබත් කෘත්‍රිම , විලාසිතා ආභරණ පැළඳීමට කැමැත්තක්‌ දක්‌වන යුවතියක්‌ නම් ඒ ගැන මදක්‌ කල්පනාකාරී වීම අවශ්‍යයි. ඉතින් මේ ලිපිය වෙන්වන්නේ ඔබ වෙනුවෙන්මයි.
fb-like-beg


ඇතැම් විට මේ ආභරණ නිසා අසාත්මිකතා ඇතිවීමට ඉඩ කඩ තිබෙනවා.

බොහෝ විට කන් පෙති පැසවීම, බෙල්ල කළුවීම, කැසීම , පළු දැමීම වැනි තත්ත්වයන් කෘත්‍රිම ආභරණ පැළඳීම නිසා ඇතිවන්නට පුළුවනි.

මුලින්ම ආභරණ තෝරාගැනීම ගැන ටිකක්‌ විමසා බලමු. වඩාත් බරපතල පෙනුමක්‌ නැති, චාම් විලාසිතාවේ ආභරණ සාමාන්‍ය ගමනට, රැකියාවට සුදුසුයි. ඒ වගේම උත්සව අවස්‌ථාවකදී නම් ගල් ඇල්ලූ, පබළු වැනි තරමක්‌ පෙනුම ඇති ආභරණ පළඳින්න පුළුවන්.

කොහොම වුණත් කරාබු තෝරාගැනීමේදී තරමක්‌ හිතන්නම ඕනේ. එයට හේතුව දිගින් වැඩි විශාල කරාබු නිසා කන්වලට අනතුරු සිදු විය හැකි වීමයි. බරින් වැඩි කරාබුවක්‌ නිසා කන් පෙත්ත ඉරෙන්නට පුළුවන්. දිගින් වැඩි කරාබු කොහේ හෝ පැටලීමෙන් එලෙසම අනතුරු සිදු වෙනවා. ඒ නිසා සැහැල්ලු කරාබු තෝරාගැනීම කෙරෙහි ඔබ අවධානය යොමු කරන්න ඕනේ.

ඒ වගේම මේ කරාබු ඉතාම පිරිසිදුව තබා ගැනීමටත් මතක තබාගන්න. නිතරම ගලවා ඉවත් කරන නිසා බොහෝ දෙනා මේවා තැන් තැන්වල තැබීමට පුරුදු වී සිටිනවා. එය සුදුසු නැහැ. එයින් කුණු දූවිලි, විෂ බීජ කරාබුවල තැවරී කන්වලද ගෑවෙනවා. ඉන් කන්පෙති පැසවීමට පුළුවන්. නිතරම කරාබු පිරිසිදු ස්‌ථානයක තැබීමට මතක තබා ගන්න. ඇතැම් අය කන්පෙත්ත රිදුනත්, එය ගණන් නොගෙන දිගටම එම කරාබු පළඳිනවා. නමුත් එයින් සිදුවන්නේ කන තුවාල වීමයි. ඒ නිසා වහාම කරාබු ඉවත් කරන්න.

අපි දිනපතා මුහුණ සෝදන විට නිතරම කන්පෙතිත් සෝදා ගත යුතුයි. දිනකට වරක්‌ හෝ සර්ජිකල් ස්‌ප්‍රීට්‌ දමා පුළුන් කැබැල්ලකින් කන්පෙති පිස දමන්න.

ඇතැම් විට කෘත්‍රිම ආභරණ නිසා බෙල්ල කළුවෙන අවස්‌ථා තිබෙනවා. එහෙම වෙන්න හේතු දෙකක්‌ බලපානවා. එකක්‌ එම ආභරණ ඔබට අසාත්මික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එම ආභරණවල ප්‍රමිතිය බාල වෙන්න පුළුවන්. මේ නිසා නිතරම එවැනි ආභරණ තෝරාගන්නා විට හොඳ ප්‍රමිතියක්‌ සහ වගකීමක්‌ ඇති තැනකින් තෝරා ගන්නට මතක තබාගන්න.

මාලයක්‌ පළඳින විට බෙල්ල ප්‍රදේශයේ බේබී ක්‍රීම් ස්‌වල්පයක්‌ ආලේප කර පළඳින්න. එය ඉවත් කළ පසුවත් විෂ බීජ නාශක සබන් වර්ගයක්‌ යොදා බෙල්ල ප්‍රදේශය සෝදා හැර පවුඩර් ටිකක්‌ දමාගන්න.

ආභරණ ද හොඳින් පිස දමා තැබිය යුතුයි. ඒවායේ දහදිය රැඳී තිබීමෙන් ආභරණ ද දුර්වර්ණ වීම සිදුවන අතර ඒවායේ බැක්‌ටීරියා වැනි විෂ බීජ වර්ධනය වී ආසාදන තත්ත්වයන් ඇති කිරීමටත් හේතු වෙනවා.

SHARE