කාන්තාවක් වුනාම හැම වෙලේම ලස්සනට, පිරිසිඳුවට, වැදගත්ව ඇඳුම් පැළඳුම් කරන්න ඕනේ කියන එක තමා Goodhousekeeping.lk අපේ අවවාදය. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ගන්න හැම සතේම විලාසිතා වෙනුවෙන් වැය කරලා අනාගතේ දියුණුවට හානි කරගන්න ඕනි කියල. ගැහැණු ළමයෙක් අනිවාර්යයෙන්ම තමන්ගේ ඉතිරිකිරීම්, ආයෝජන ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අර පරිස්සම හුරු පුරුදු වෙන්න ඕනේ. ඒ අතරේම ලස්සනට ඉන්නත් ඕනේ.

ඇඳුම් පැළඳුම් ගොඩක් ගණන්. විශේෂයෙන්ම කාර්යාලයකට යද්දී නම් ඇතැම් තරුණියෝ අතරේ ඇත්තේ විලාසිතා තරඟයක්. ඒ වගේ වෙලාවක අනික් අයට දෙවෙනි නොවෙන්න ලස්සනට ඉන්න අතරේ විලාසිතා වලට වැයවන මුදල් අඩු කර ගන්න ක්‍රම කීපයක් අද අපි කියා දෙන්න තීරණය කළා.

fb-like-beg


1. හොඳ දේවල් කීපයක් මිලට ගන්න

බාල දේවල් ගොඩක් තිබුනත් වැඩක් නැහැ. ඒවගෙන් කිසිම වැදගත් පෙනුමක් ඔබට එක් කරන්නේ නැහැ. අනික හොඳ වෙළඳ නාමයක් යටතේ නිෂ්පාදනයක් මිලට ගත්තහම ඒ දේවල් සාමාන්‍ය දෙයක් වගේ තුන් ගුණයක් කල් පවතිනවා. ඒ නිසා එයින් දීර්ඝ කාලීනව ඔබට ලැබෙන්නේ වාසියක්. හොඳ අත්බෑගයක්, හොඳ අත් ඔරලෝසුවක්, හොඳ වර්ගයේ සපත්තු ජෝඩු දෙකක්, හොඳ වර්ගයේ බෙල්ට් එකක් මිලට ගන්න. මේ වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වැය වේවි. මුදල් ඉතුරු කරලා මේ දේවල් ගන්න.

මෙයින් ඔබට එක් කරන වටිනා කියන වැදගත් පෙනුම බාල දේවල් 10 කින් වත් ලබන්න බැහැ. තව දෙයක්, හැම වර්ණයකම ඇඳුම් වලට අඳින්න පුළුවන් වෙන්න කළු, බේජ් වගේ පාටකින් ගන්නත් අමතක කරන්න එපා.


2. ඇඳුම් තෝරද්දී ඇඟේ හැඩය ගැන සැලකිලිමත් වෙන්න

පළවෙනියට ඔබට අනන්‍ය ක්‍රමයක් හදා ගන්න. ඔබේ ශරීරය ගැන පළමුව ඉගෙන ගන්න. ඇඟේ හැඩයට ගැලපෙන විදිහට අඳින්නේ කොහොමද කියල ඉන්ටනෙට් එකෙන් අධ්‍යනය කරන්න. අපේ වෙබ් අඩවියේ ඒ ගැන ලිපි ගොඩක් තිබෙනවා. ඇඟේ හැඩයට ගැලපෙන්න ඇඳුම් කරේ නැත්නම් මොනවා ඇන්දත් ලස්සනක් නම් නැහැ.

ඔබ මිටිමහත ගැහැණු ළමයෙක් නම් රේන්ද වගේ ඔබව තවත් මහත් කරලා පෙන්වන දේවල් අඳින්න එපා. ඒ එක්කම ඉනෙන් පහලට වැටෙන කුර්තා වගේ දේවලුත් එපා. කෙටි හැට්ට, කබා ඔබට ගැලපෙනවා. ගවූම් වුනත් ඉන උඩින් තිබෙන ඇඳුම් තමා ඔබට ගැලපෙන්නේ. කලිසම් නම් කකුලේ ගානට අඳින්න.


කියවන්න

උසින් අඩු ගැහැණු ළමයින්ට ගැලපෙන විලාසිතා


ඔබ කෙට්ටු ගැහැණු ළමයෙක්නම්, ඇඟට වඩා විශාල ඇඳුම් අඳින්න එපා. ඇඟේ ගානට අඳින්න. අත් නැති ඇඳුම් වෙනුවට අත් දිග ඇඳුම් අඳින්න. දිග අතට ඉරි තිබෙන ඇඳුම් අඳින එක නොකර හරස් අතට ඉරි ඇති ඇඳුම් අඳින්න.


3. සුදු වර්ණය මුසු කරන්න

මේ ලියන ලේඛිකාව තරුණ කාලේදී කාර්යාලයට එකම දේ අඳින බව නොපෙනෙන්න අපූරු උපක්‍රමයක් යෙදුවා. ඇය හොඳම වර්ගයේ කළු කලිසම් දෙකක් සහ කළු කාර්යාලයට අඳින ටයිට් සායක් ගත්තා. ඉන් පස්සේ සුදු ෂර්ට් 5 ක් පමණ ගත්තා. ඒ ෂර්ට් මිලෙන් අධික ඒවා නොවෙයි. නමුත් පුදුමාකාර වැදගත් පෙනුමක් ඔබට එක් කරන්න සුදු වර්ණයට පුළුවන්. මේ ඇඳුම් කට්ටළ තුන තමා හැම දිනකම ඇන්දේ. නිසි ලෙස හෝදලා මැදලා. එය ඉතාම අලංකාර පෙනුමක් එක් කළා. ඒ වගේම නිතරම ඇඳුම් මිලට ගැනීමේ කරදරයෙනුත් නිදහස් වුනා.


4. Factory Rejects ගැන බලන්න

ලංකාවේ කඩ තිබෙනවා පිටරටට අපනයනය කරන්න හදන ඉහළ තත්වයේ රෙදිපිළි වලින් ඉවත් කරන ලද ඇඳුම් ගෙනත් විකුණන. මේ කඩ වලට කියන්නේ Factory Rejects කියල. මේවගේ තිබෙන්නේ ඉතාම ඉහළ තත්වයේ හොඳ රෙදි පිලි. නමුත් මොකක් හරි පොඩි ඇදයක් නිසා වෙළඳපොලෙන් ඉවත් කරන ලද ඒවා. ඒ වෙනස්කම් පේන්නෙත් නැහැ. එකම දේ මේවා කඩේට ගිහින් වෙලාව අරගෙන හොඳින් තෝරලා හොඳම ඇඳුම් ගන්න ඕනේ. අනික් අයට නැති තරමේ ලස්සන වටිනා ඇඳුම් අඩුම මිලට ඔබට ලැබෙනවා.


5. ගැලපෙන විදිහට ආභරණ

ෆැෂන් ජුවලරි එහෙම නැත්නම් විලාසිතා ආභරණ දාන්න අපි ටිකක් මැලියි. අපි දාන්නේ බොහෝවිට රත්‍රන් ආභරණ. නමුත් මේ Fashion Jewellery ගලපලා දැම්මොත් ඔබට පුදුමාකාර විදිහේ මිල අධික පෙනුමක් පහසුවෙන්ම ගන්න පුළුවන්. එකම දේ අඳින ඇඳුමට ගැලපෙන්න දාන්න ඔබ දැනගන්න ඕනේ.

SHARE