“ඒ

ඩ්ස්” කියන නම ඇහුනත් බය වෙන ඔබ ඇත්තටම ඒඩ්ස් රෝගය ගැන නොදන්නා දේවලුත් ගොඩක් තියෙනවා. ලංකාවේ බොහෝ දෙනෙක් ඒඩ්ස් රෝගය වැළඳුනු පුද්ගලයන්ව අසාමාන්‍ය විදිහට කොන් කරන්න උත්සාහ කරනවා. ඒකට හේතුව තමයි ඒඩ්ස් රෝගය ගැන හරියාකාර වැටහීමක් නොමැති වීම. ඉතින් අද අපි උත්සාහ කරන්නේ අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ඒඩ්ස් රෝගය ගැන නියම තතු ඔබට කියා දෙන්නයි.

 


fb-like-beg


 

  • ඒඩ්ස් රෝගය වැළඳෙන්නේ අනාරක්ෂිත ලිංගික සබඳතා වලින් විතරක්ම නෙවෙයි

ඒඩ්ස් රෝගීන් දිහා ගොඩක් අය බලන්නේ වැරදි ලිංගික ඇසුරක් පවත්වන්න ගිහින් අමාරුවේ වැටුණු අය විදහටයි. ඒත් ඒක සත්‍යය නෙවෙයි. අනාරක්ෂිත ලිංගික ඇසුරක් නිසා වගේම තවත් හේතු නිසා ඒඩ්ස් රෝගය වැළදෙන්න ඉඩ තියෙනවා. මවකගෙන් දරුවෙකුට ඒඩ්ස් රෝගය පැතිරෙන්න පුළුවන්. ඒඩ්ස් රෝගියෙකුගේ රුධිරය ලබා ගැනීමෙන් වගේම අවයව බද්ධ කිරිමකිනුත් රෝගය පැතිරෙන්න පුළුවන්. ඒඩ්ස් රෝගියෙකුට විදපු එන්නත් කටුවකින් සාමාන්‍ය පුද්ගලයෙක්ටත් එන්නත් කිරීමක් සිදු කලොත් රෝගය පැතිරෙනවා. මොනයම් හෝ ක්‍රමයකින් ඒඩ්ස් රෝගියෙකුගේ රුධිරය සාමාන්‍ය පුද්ගලයෙක්ගෙ සිරුර තුලට ඇතුළු වුව හොත් රෝගය පැතිරෙනවා.

  • ඒඩ්ස් රෝගියෙක් ඇසුරු කරපු පලියට රෝගය බෝ වෙන්නේ නැහැ

බොහෝ දෙනෙක් ඒඩ්ස් රෝගියෙක්ව ඇසුරු කරන්න මැලි වෙනවා. සාමාන්‍ය ඇසුරු කිරීමකින් කොහොමටවත්ම රෝගය පැතිරෙන්නේ නැහැ. උදාහරණ විදිහට රෝගියා භාවිතා කරන වැසිකිලිය, තුවා, බඩු භාණ්ඩ පරිහරණය කළා කියලා ඒඩ්ස් රෝගය පැතිරෙන්නේ නැහැ. ඒඩ්ස් රෝගියෙක්ට දෂ්ට කරපු සතෙක් සාමාන්‍ය පුද්ගලයෙක්ට දෂ්ට කළා කියලා රෝගය බො වෙන්නේ නැහැ. ඒඩ්ස් රෝගියෙක්ව ස්පර්ශ කලාට, සිප ගත්තට මේ රෝගය බො වෙන්නේ නැහැ. එකම පිඟානේ ආහාර ගත්තත්, රෝගියා කන හැන්දෙන් තමන් කෑවත් මේ රෝගය බො වෙන්නේ නැහැ.

  • යමෙකු ඒඩ්ස් රෝගියෙක්ද කියලා දැන ගන්න පුළුවන් එකම ක්‍රමය රුධිර පරීක්ෂාවක් කිරීම පමණයි

ඔබට මතක ඇති ඒඩ්ස් කියලා තහවුරු වුනු මවකගේ දරුවෙකුව ඉගෙන ගනිමින් සිටි පාසලෙන් එලවන්න උත්සාහ කරපු ආකාරය. ඒ දරුවට ඒඩ්ස් තියෙනවද නැද්ද කියලා රුධිර පරීක්ෂාවකින් ඒ වෙද්දී තහවුරු වෙලා තිබුනේ නැහැ. ඒත් මිනිස්සු ඒ දරුවට ඒඩ්ස් රෝගය තියෙනවා කියලා උපකල්පනය කළා. ඔවුන් කිව්වේ පවුලේ සාමාජිකයෙක්ට ඒඩ්ස් තියෙන නිසා අර දරුවත් අනිවාර්යයෙන්ම ඒඩ්ස් රෝගියෙක් කියලයි. ඒ විදිහේ උපකල්පනය කිරීම් සම්පුර්ණයෙන්ම වැරදියි. යම් පුද්ගලයෙක්ගේ හැසිරීම මත, දුර්වල පෙනුම මත, නිතර සුළු සුළු රෝග වලට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩි වීම මත ඔහු ඒඩ්ස් රෝගියෙක් කියලා උපකල්පනය කරන්න කාටවත් බැහැ.

  • ලේ පරීක්ෂාවකින් HIV + බව සනාථ වුවා කියලා බය වෙන්න දෙයක් නැහැ

මොනයම් හො ක්‍රමයක් නිසා යම් පුද්ගලයෙක්ට HIV වෛරසය ශරීරගත වුණා කියලා ඔහුට බය වෙන්න දෙයක් නැහැ. HIV වෛරසය ශරීරගත වුනාට පස්සේ එය සුව කරන්න බැහැ තමයි. හැබැයි එය මාරාන්තික විදිහට හැමෝටම බලපාන්නේ නැහැ. HIV වෛරසය ශරීරයේ තියාගෙන සමාජ උපදේශිකාවක් ලෙස කටයුතු කරන, Positive women network NGO එක පටන් ගත්තු ප්‍රින්සි මංගලිකා ගැන ඔබ අහලා ඇති. HIV වෛරසය ආසාදනය වුනු ගමන් කවුරුවත්ම මැරෙන්නේ නැහැ. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය කිසිම ගැටළුවක් නැතුව අවුරුදු ගණනාවක් ගත කිරීමේ හැකියාව තියෙනවා. HIV වෛරසය ටික ටික ශරීරය තුල ක්‍රියාත්මක වෙලා බරපතල තත්වයකට එන්න ගොඩක් කාලය ගත වෙනවා. සමහර වෙලාවට එහෙම ගැටළුවක් ඇති නොවීමත් තියෙනවා.

  • HIV වෛරසය ශරීරය තුල ක්‍රියාත්මක වීම හැකි තරම් පමා කරන්න බෙහෙත් හොයාගෙන ඉවරයි

ඒඩ්ස් රෝගයට බෙහෙත් නැහැ කියලා හැමෝම කියනවා. ඇත්ත, HIV වෛරසය සම්පුර්ණයෙන්ම ශරීරයෙන් ඉවත් කරන්න හැකි බෙහෙතක් නම් තාම හොයාගෙන නැහැ තමයි. ඒත් HIV වෛරසය ශරීරය තුල ක්‍රියාත්මක වීම හැකි තරම් පමා කරන්න, HIV වෛරසයේ ක්‍රියාකාරිත්වය පාලනය කරන්න බෙහෙත් හොයාගෙන තියෙනවා.