හසක් බලාපොරොත්තු පැතුම් පොදි බැඳ ගෙන යුග දිවියට පිවිසෙන ඕනෑම යුවළකගේ ඊළඟ බලාපොරොත්තුව පුංචි දරු පැටියෙකුගේ සුරතල් සිනාවක් දැකීමයි. මේ ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වීමට නම් එම යුවතිය නිරෝගී ගැබිනියකව නිරෝගී දරුවකු බිහි කළ යුතුය. නීරෝගී ගර්භණී කාලයක් ගත කිරීමට සහ නිරෝගී දරුවෙක් කුස තුළ හදා වඩා ගැනීමට මෙන්ම නිරෝගී දරු උපතක් පිණිස ගැබ් ගැනීමට ප්‍රථමයෙන් අප විසින් කළ යුතු දේවල් දැන ගැනීම ඉතාම වටිනවා.

මෙය “පෙර ගර්භ රැකවරණය” ලෙස හඳුන්වනු ලබනවා. ඔබගේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් හෝ ඔබගේ පවුලේ වෛද්‍යවරයා ගෙන් මේ සේවාව ඔබට ලබා ගන්නට පුළුවන්.

යුවතියක් ගැබ් ගැනීමට ප්‍රථමයෙන් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව මේ ලිපියෙන් සාකච්ඡා කරනු ලබනවා.

මේ කරුණු සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම තුලින් සහ අදාළ සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කිරීමෙන් ඔබට නිරෝගී ගර්භණී කාලයක් එමෙන්ම නිරෝගී දරු සම්පතක් උරුම කර ගන්නට අවස්ථාව සැලසෙනවා.


fb-like-beg


මොනවද මේ කරුණු කියලා එකින් එක සලකා බලමු

ශරීර ස්කන්ධය සහ පෝෂණය

ගර්භණී භාවයක් අපේක්ෂා කරන ඔබ මනා පෝෂ්‍යදායි ආහාර ලබා ගත යුතුය. දරුවෙකු කුස තුළ පිළිසිඳ ගෙන මුල් සති 8 ඇතුළත එම කලලයේ අවයව පද්ධති බොහෝ ප්‍රමාණයක් විකසනය වී අවසන් වනවා. ප්‍රථමයෙන් ඔබ මනා පෝෂණ තත්වයක නොසිටියහොත් එය දරුවාගේ දරුවාගේ නිරෝගීභාවය කෙරෙහි බලපාන්න ඉඩ තිබෙනවා.

ඒ වගේම තමයි තරබාරුකම. ඔබ තරබාරු කෙනෙක් නම් එනම් ඔබගේ BMI අගය 25 ට වැඩිනම්, එය ඔබට ගැබ් ගැනීමටත් බාධාවක් වෙනවා. එමෙන්ම ඔබ අධි බර කාන්තාවක් නම් ගර්භණී කාලය තුළදී තුලදී ඔබට අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි ආබාධ ඇතිවීමට ඇති වීමට ඉඩ කඩ වැඩියි. එමෙන්ම අධි බර දරුවන් ඇති වීම සහ ඒ හේතුවෙන් දරු ප්‍රසුතිය සම්පූර්ණ වීමටත් සීසර් ශල්‍යකර්ම මඟින් දරුවා බිහි කිරීමටත් ඇති ඉඩකඩ වැඩි වෙනවා.

තවද අධි බර කාන්තාවක් නම් නියමිත කාලයට පෙර දරුවා ප්‍රසූත කිරීමේ අවදානමක් තිබෙනවා.

ඒ වගේම තමයි නියමිත බරට වඩා බර අඩු වුනොත්, ඒ කියන්නේ කෘෂ වුනොත් ගර්භණීභාවයට සහ දරුවගේ නිරෝගීකමට බලපෑම් ඇති කරන්නට පුළුවන්. මේ අතර අඩු බර දරු උපත් සහ නියමිත කාලයට පෙර ප්‍රසව වේදනා ඇති වීම විශේෂයි.

ඊට අමතරව අඩු බර සහිතව උපදින දරුවන් අනාගතයේ දී චර්යාත්මක ගැටලුවලට මුහුණදීමේ අවදානම වැඩියි. ඔවුන් වැඩිහිටි වියේදී බෝ නොවන රෝග වලට ලක්වීමේ අවදානම ද වැඩියි.

මේ නිසා ගර්භණී භාවයක් ගැන සිතන ඔබ ඔබගේ උසට නියමිත බර තිබෙනවා ද යන්න ගැන අවබෝධයකින් සිටිය යුතුයි.


රුධිරයේ හිමොග්ලොබින් මට්ටම

දරු ගැබක් බලාපොරොත්තු වන ඔබ ඔබගේ රුධිරයේ හිමොග්ලොබින් මට්ටම අනිවාර්යයෙන්ම පරීක්ෂා කරගත යුතුය. මොකද මේ හිමොග්ලොබින් මට්ටම රුධිරයේ අඩු වුවහොත් දරුවාට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමට පුළුවන්. එය දරුවාගේ වර්ධනයට බලපාන්න පුළුවන්. ඒ කියන්නේ විවිධ අඩුපාඩු සහිත දරුවන් බිහිවන ඉඩකඩ තිබෙනවා.

ඒ විතරක් නෙමෙයි කුසයේදී මවට එය ඉතාම අහිතකර ලෙස බලපාන්න පුළුවන්. කොටින්ම කියනවා නම් ජීවිත අවදානමක් ගෙන දෙන්නත් පුළුවන්.


එතකොට මේ රුධිරගත හිමොග්ලොබින් අඩු වෙන්න හේතු මොනවාද?

සුලබම හේතුව තමයි යකඩ ඌණතාවය. යකඩ අඩංගු විටමින් භාවිතා කිරීමෙන් මෙය නිවැරදි කළ හැක.

ලංකාව වැනි රටක තවත් ප්‍රධාන හේතුවක් තමයි මේ සුළු තැලසීමියාව කියන තත්වය. මෙය රුධිර පරීක්ෂාවක් මගින් සනාථ කර ගත හැක. මෙහි වැදගත්කම තමයි ඔබටත් සුළු තැලසීමියාව තිබී ස්වාමි පුරුෂයාටත් සුළු තැලසීමියාව තිබීම. මොකද ඔබ දෙදෙනාටම මේ තත්ත්වය තිබුණහොත් උපදින දරුවන්ට මහා තැලසීමියාව කියන භයානක රෝගය ඇතිවෙන්න ඉඩකඩ තියෙනවා.

ගැබ් ගැනීමට ප්‍රථම ඔබට ඔබගේ රුධිර ගණය පරික්ෂා කර ගැනීම වටිනවා. මොකද ඔබගේ රුධිර ගනය සෘණ වර්ගයේ එකක් නම් කලලයට ඇතිවිය හැකි සංකූලතා වළක්වා ගැනීමට කල් තියාම පියවර ගත හැකි වීමයි.

දියවැඩියාව, අධි රුධිර පීඩනය, අපස්මාරය, මානසික රෝග, හෘදය ආශ්‍රිත රෝග සහ වෙනත් ඕනෑම දීර්ඝ කාලීන රෝගයන් ගර්භනීභාවය කෙරෙහි අහිතකර ලෙස බලපාන්න පුළුවන්. එවැනි රෝග සහිත කෙනෙක් ගැබ් ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ප්‍රථමයෙන්ම ඔබගේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කොට එම රෝගයන් ප්‍රශස්ත මට්ටමින් පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය. එමගින් ඔබට සහ දරුවාට ඇතිවිය හැකි සංකූලතා අවම කරගැනීමට හැකියාව ලැබෙනවා. ඔබට දැනට එවැනි රෝග නැත්නම් වෛද්‍යවරයෙක් හමු වී එවැනි රෝග තිබේද යන්න පරික්ෂා කර ගැනීම වැදගත්.

කෙසේ වෙතත් ඔබ කිසියම් රෝගයකට දීර්ඝකාලීන ඖෂධ භාවිතා කරමින් සිටින්නේ නම් ගර්භණී කාලය අතර වෛද්‍ය උපදේශනයක් නැතිව එම ඖෂධ නොගෙන සිටීම හොඳ නැහැ. ඒ වගේම එම ඖෂධ ගන්නා අතර ගැබ් ගැනීම සුදුසු නැහැ. මොකද සමහර ඖෂධ මගින් දරු ගැබට අහිතකර බලපෑම් ඇති වන්න පුළුවන්.


ෆෝලික් අම්ලය (Folic Acid)

ඔබ ගර්භණීභාවයක් ගැන සිතන්න පටන් ගත්ත දිනේ පටන්ම අමතර ෆෝලික් අම්ල පෙත්තක් දිනපතා ලබා ගැනීම ඉතාම වැදගත්. මොකද ඔබගේ කුස තුල දරුවෙක් පිළිසිඳ ගන්නා අවස්ථාව වන විට ඔබගේ රුධිරයේ ප්‍රමාණවත් ෆෝලික් අම්ල සාන්ද්‍රනයක් නොතිබුණහොත් දරුවාගේ ස්නායු පද්ධතියේ දරුණු ඝනයේ ආබාධ ඇතිවෙන්න ලොකු ඉඩකඩක් තියනවා.

තව දෙයක් තියෙනවා, ඔබගේ පෙර ගර්භණීතාවයන් වලදී යම් යම් සංකූලතා ඇති වුණි නම් එවැනි සංකූලතා නැවත නැවත ඇති වීමේ අවදානමක් තියෙනවා. මේ නිසා ඒවා වලක්වා ගැනීමට නම් ගැබ් ගැනීමට ප්‍රථමයෙන්ම අවශ්‍ය පියවර ගැනීම සදහා ඔබගේ වෛද්‍යවරයා හමු වී සාකච්ඡා කරන්න.


තව පුංචි දෙයක් තියෙනවා.

මෙය අපේ රටේ කාන්තාවන් අතර නම් එතරම් සුලබ දෙයක් නෙවෙයි. ඒ තමයි යම් කාන්තාවක් සිගරැට් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් එය ඔබට සහ ඔබේ දරුවාට ඉතාම අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන්.

මේ නිසා ගර්භණී භාවයක් අපේක්ෂා කරන්නේ නම් ප්‍රථමයෙන්ම මෙවැනි පුරුදු අත්හැරිය යුතුයි.

SHARE