මානසික ආතතිය අප ඕනෑම අයෙකුට, ඕනෑම මොහොතක ඇති විය හැකි දෙයක්. යම් වගකීමක් ඉටු කිරීමට ඇති විට, යම් අරමුණක් වෙනුවෙන් මහන්සි වන විට යම් මානසික ආතතියක් ඇති වීම ඉතාමත් ස්වාභාවිකයි. නමුත් ඔබ නොදැනුවත්වම ඔබේ මානසික ආතතිය ඉහල ගියොත් නම්, එය හොඳ ලකුණක් නොවේ. මානසික ආතතිය ඉහල යෑමෙන් ඔබට රෝගී වන්නට සිදු වනු ඇත. මේ නිසා මානසික ආතතිය වැඩි වන බව කලින්ම හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීම වැදගත් බව ඔබට වැටහෙනවා ඇති. අද අපි අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ඉදිරිපත් කරන්නේ ඔබේ මානසික ආතතිය ඉහල යමින් පවතින බව හඳුනා ගත හැකි ලක්ෂණ කීපයක් පිළිබඳවයි.


fb-like-beg


1 ඔබේ සිරුරේ බර වෙනස් වීම

මානසික ආතතියෙන් පෙලෙන අයෙකුගේ සිරුරේ බර එක වර අඩු වීම හෝ වැඩි වීම සිදු විය හැකියි. මෙයට හේතුව වන්නේ ඔබ මානසික ආතතියෙන් පෙලෙන විටදී ඔබේ සිරුරෙන් ශ්‍රාවය කෙරෙන කොර්ටිසෝල් හෝමෝනය ඔබේ සිරුරේ ග්ලුකෝස් මට්ටම වෙනස් කිරීමයි. ඒ වගේම මානසික ආතතියෙන් පෙලෙන සමහරුන් ආහාර ගැනීම අඩු කරන අතර, තවත් සමහරු පමණට වඩා ආහාර ගැනීමට පෙළඹෙන අවස්ථා තිබෙනවා. මෙවැනි අවස්ථාවකදී ඔබේ සිරුරේ බර පමණට වඩා වැඩි වීම හෝ අඩු වීම සිදු විය හැකියි.

මෙවැනි ගැටළුවක් ඇති විට ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම වැඩි කරන්න. එයින් ඔබේ සිරුරට අවශ්‍ය පෝෂණය ලැබෙන අතර, තන්තුමය ස්වභාවය නිසා බර වැඩි වීමක්ද සිදු නොවේ.

2 නිතරම හිසරදය වැළඳීම

ඉඳ හිට හිසරදය වැළඳීම සාමාන්‍ය සිද්ධියක් වුවත්, දවස පුරා ඔබ හිස රදයකින් පීඩා විඳින්නේ නම් එය අසාමාන්‍යය. ඇතැම් විට දින ගණනාවක් පුරාවට හිසරදය ඇති වෙමින්, සුව වෙමින්, නැවත ඇති වෙමින් යනු ඇත. මේ තත්වය ඇති වන්නේ මානසික පීඩනය වැඩි වූ විටය. ඇතැම් විට මෙය මානසික පීඩනය වැඩි වූ විට වැළඳෙන මිග්‍රේන් (migraine) තත්වය විය හැක. මානසික ආතතිය ඇති වූ විට නිපදවෙන ශාරීරික රසායනිකයන්ගේ බලපෑමෙන් ඔබේ මස්තිෂ්කයේ ස්නායු සහ රුධිර වාහිනී වලට බලපෑම් ඇති කරයි. මේ තදබල හිසේ කැක්කුමට හේතු වන්නේ එයයි.

මෙවැනි ගැටළුවක් ඇති විට පෙපර්මින්ට් තෙල් හෝ ලවෙන්ඩර් තෙල් ස්වල්පයක් ගෙන නළලේ දෙකෙළවර තවරා සම්බාහනය කරන්න.

3  කුසයේ හට ගන්නා දැවිල්ල

බොහෝ දෙනෙක් මෙවැනි අවස්තාවක් වටහා ගන්නේ ගැස්ට්‍රයිටීස් රෝගය ලෙසයි. නමුත් සැබෑවටම මෙම තත්වයට හේතු විය හැක්කේ අධික මානසික පීඩනයයි. මානසික පීඩනය වැඩි නම්, සිරුරේ නිපදවෙන අම්ලමය රසායනිකයන් වැඩි වෙනවා. මෙවැනි අවස්ථාවකදී සිරුරේ ඇති අම්ලමය තත්වය පාලනය කර ගැනීම සඳහා බෙහෙත් ලබා ගැනීමෙන් තත්වය සමනය කල හැකියි.

4 නිතරම රෝගී වීම

මානසික පීඩනය වැඩි වූ විට ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වී, රෝග බීජ වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව හීන වී යනවා. මෙවැනි තත්වයකදී ඔබට ඉතා පහසුවෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ ඇතුළු වෛරස් රෝග වැළඳිය හැකියි. ඒවා කල්ගත වන තුරු සුව නොවීමත් දැකිය හැකියි. මෙවැනි තත්වයකදී වැඩිපුර නිදා ගැනීම, භාවනා කිරීම, ව්‍යායාම වල නිරත වීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් නැවත ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගත හැකියි.

5 කුරුලෑ ඇති වීම

කුරුලෑ ඇති වීමට විවිධ හේතු බලපානවා. මේ අතර මානසික පීඩනයත් ප්‍රධාන තැනක් ලබා ගන්නවා. තරුණ තරුණයින් ඔවුන්ගේ වයසේදී විවිධ ගැටළු සහ අභියෝගයන්ට ගොදුරු වෙනවා. ඉතින් එහි අතුරු ප්‍රතිඵලයක් ලෙසත් මුහුණේ කුරුලෑ ඇති වීම සිදු විය හැකියි. මානසික ආතතිය වැඩි වූ විට කොර්ටිසෝල් හෝමෝනය වැඩියෙන් නිපදවෙන බව ඔබ දැනටමත් දන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ සම මත වැඩිපුර මේදය නිපදවෙනවා. වැඩියෙන් නිපදවෙන මේදය නිසා සමේ රෝම කුපයන් අවහිර වීම, කුණු දුහුවිලි සහ මල සෛල එක් රැස් වීම නිසා කුරුලෑ ඇති වීම සිදු වෙනවා.  

 

SHARE