සු ප්‍රසව විශාදය කියන තත්වය මව්වරුන්ගෙන් 80%කට පමණ ඇති වෙනවා. මේ තත්වය අඩු වෙනවාද, වැඩි වෙනවාද, උග්‍ර වෙනවාද යන්න තීරණය වන්නේ මවට සැමියාගෙන් සහ අවට පුද්ගලයන්ගෙන් ලැබෙන සහයෝගය මතයි. මේ තත්වය 100%ක් සුව කල හැකියි. සැමියාගේ සහ පවුලේ අයගේ සහයෝගය මත එය පහ නොවුවොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් සුව කල හැකියි. අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය මඟින් මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්නට තීරණය කළා.

 


fb-like-beg


දිනය: 1989. 10. 12

“අයියෝ කුමාරි අක්කා අර අත දරුවා එක්ක ගිනි තියාගෙනලු. දෙන්නම එතනමයිලු.” ගමේම සෙනග කුමාරිගේ ගේ ගාවට දිව්වේ පිස්සුවෙන් වගේ.

“දෙවියනේ මේ දරුවා මොකද්ද මේ කර ගත්තේ? ඔක්කොටම හපන් අර අත දරුවාව මරා ගත්තේ ඒ කිරි සප්පයා මොන වරදක් කලාටද?” වැඩිහිටි කාන්තාවක් විලාප දිදී හැඬුවේ අවට හැමෝගෙම නෙතට කඳුළු එක් කරමින්.

හැබැයි මේ අවාසනාවන්ත සිදුවීම පසුපස තිබුණු හේතුව කවුරුත් දැනගෙන හිටියේ නැහැ.

 

දිනය: 1989. 10. 01

කුමාරි දරුවා ප්‍රසුත කරපු දිනය. ඇයගේ හිතට දැනෙමින් තිබුනේ අමුතුම බියක්. දරුවාව ඇති දැඩි කර ගන්නේ කොහොමද කියලා අවිනිශ්චිත තාවයක්.

දරුවාව අරගෙන ගෙදර ගෙනාවට පස්සේ සති එකහමාරක් පුරාවට සිදු වුනු සිදුවීම් ඇගේ හිතට දැනුනු ඒ පීඩාව වැඩි කළා.

දරුවා හඬද්දීම කාමරයට එබෙන නෑනා මෙහෙම කියනවා.

“අක්කේ මොකද දරුවා ඔච්චර අඬන්නේ? කිරි මදිද දන්නේ නැහැ.”

රෑට දරුවා හඬද්දී කුමාරිගේ සැමියා මෙහෙම කියනවා.

“අයියෝ කුමාරි, දරුවාව නලව ගන්න තේරෙන්නේ නැද්ද? මට හෙට වැඩට යන්නත් තියෙනවා.

ඒ විතරක් නෙවේ, කුමාරිට විවේකයක් ගන්න ඉඩ නොතබාම නෑදෑයෝ පෝලිමට දරුවා බලන්න එනවා.

“ළමයාගේ පාට ටිකක් අඩුයි නේද? සීයාගේ විදිහටද කොහෙද ගිහින් තියෙන්නේ.”

“දරුවාගේ කකුල් බකලයිද? පොඩ්ඩක් ඕවා හදන්න. ඉස්සරහට වස කැත වෙයි.”

“ළමයා වපරයිද? පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්නකෝ ළමයා ගැන.”

“අපේ නැන්දගේ දුවගේ බබා නම් සුදුම සුදුයි. ඔයාගේ බබා සුදු නෑනේ. ඉස්සරහට තව කළු වෙයිද දන්නේ නැහැ.”

“අපෝ ඔයාගේ මහත නම් අඩු කරන්න ලේසි වෙන එකක් නැහැ. ඔය බඩ නම් ලේසියෙන් බහින්නේ නැහැ. ඉස්සර වගේ ලස්සන වෙන්න නම් ලැබෙන එකක් නැහැ ඔයාට ආයේ.”

ඔවුන්ගේ කටින් දිගින් දිගටම පිට වුනේ මේ වගේ දේවල්.

 

පසු ප්‍රසව විශාදයේ ලක්ෂණ

  • ගතේ වෙහෙස අඩු නොවීම
  • දැඩි කම්මැලිකමක් දැනීම
  • හේතුවක් නොමැතිව දුක් වීම
  • දරුවාගේ අනාගතය අනාරක්ෂිත බව හැඟීම
  • තමාට යහපත් මවක් වන්නට බැරි වේ යැයි සිතන්නට පෙළඹීම
  • තමන් කරන දේ වැරදි යැයි සිතීම. (දරුවා නලවන ක්‍රමය, කිරි දෙන ක්‍රමය)
  • ඉක්මනින් කෝපයට පත් වීම
  • තමන් තනි වී ඇති බවත්, හැමෝගෙම ආදරය හිමි වන්නේ දරුවාට පමණක් බව සිතන්නට පෙළඹීම
  • කෑම අරුචිය හෝ ඉවක් බවක් නොමැතිව වැඩිපුර ආහාර ගැනීම

 

මෙවැනි බිරිඳක් වෙනුවෙන් සැමියෙකුට කල හැකි දේවල්

  • බිරිඳගේ සිත නොරිදෙන සේ කතා කිරීම
  • නෑදෑයන් නිසා තම බිරිඳගේ සිත රිදෙන්නට ඉඩ නොදී බිරිඳව ආරක්ෂා කිරීම
  • බිරිඳව ආගමික දේ වලට යොමු කිරීම
  • දරුවාටත්, බිරිඳටත් ආදරය කරන බව නිතර පැවසීම
  • බිරිඳට විනෝදාංශ වල නිරත වෙන්නට උදව් කිරීම (සිංදු ඇසීම, කියවීමට පොත් ගෙනැවිත් දීම)
  • දරුවාගේ වැඩ සහ නිවසේ සියලු වැඩ බිරිඳ පිට නොපටවා ඒවා බෙදාගෙන කිරීම
  • සායන වලට සහභාගී වීම