සකට වතාවක් හැම කාන්තාවක්ම පීඩා විඳින තත්වයක් තමයි ඔසප් වේදනාව කියන්නේ. බොහෝ කාන්තාවන්ට ඔසප් සමයේදී යටි බඩේ වේදනාවක් ඇති වීම, කොන්දේ වේදනා ඇති වීම, පියයුරු වල වේදනා ඇති වීම, හිසරදය සහ මානසික නොසන්සුන්භාවය වැනි ලක්ෂණ වලින් එකක් හෝ කීපයක්ම පහළ වෙනවා. මේ වගේ වෙලාවක ගොඩක් කාන්තාවන් පුරුදු වෙලා ඉන්නේ වේදනා නාශක පෙත්තක් මඟින් වේදනාව අඩු කර ගන්නයි. නමුත් එවැනි ක්ෂණික විසඳුම් වලට යනවාට වඩා, පුංචි අත් බෙහෙත් කීපයක් යොදාගෙන සහනය ලබා ගන්න උත්සාහ කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ එවැනි අත් බෙහෙත් වර්ග කීපයකුයි.


fb-like-beg

 


1 ගස්ලබු

ගස්ලබු කියන්නේ යකඩ, කැල්සියම්, කැරොටීන් සහ විටමින් A වලින් අනූන වෙන පළතුරක්. මස්පිඬු සංකෝචනයෙන් හට ගන්නා වේදනාවන් සමනය කරන්න ගස්ලබු වලට සුවිශේෂී හැකියාවක් පවතිනවා. ඔසප් දින ආසන්න වූ විට, දවස් කීපයකට පෙර සිටම ගස්ලබු ආහාරයට ගැනීමෙන් ඔසප් දිනවලදී ඇති වෙන අපහසුතා පහසුවෙන්ම මඟ හරවා ගන්න පුළුවන්.

2 කොත්තමල්ලි

කොත්තමල්ලි කියන්නේ හොඳ වේදනා නාශකයක්. කොත්තමල්ලි ස්වල්පයක් ගෙන හොඳින් කුඩු කර ගන්න. එය ජලය වීදුවකට දමා රැයක් පුරාවට වසා තබන්න. පසුදින උදෑසන සීනි එකතු කර හෝ එකතු නොකර පානය කරන්න. එයින් ඔබේ අපහසුතා මඟ හැරී යනු ඇත.

3 යෝගට්

ඔසප් දින වලදී යෝගට් ආහාරයට ගැනීමෙන් ඔබේ බොහෝ වේදනාවන් සමනය කර ගත හැකියි. යෝගට් වල ඇති සිසිල්කාරක ගුණයන් සහ කැල්සියම් මෙයට හේතු වෙනවා.

4 ඉඟුරු

ඉඟුරු ඔසප් දින වලදී ඇති වන කුසේ වේදනාවන් වහා සමනය කරනවා. තලා ගත් ඉඟුරු කැබැල්ලක් සහ ජලය කෝප්පයක් බඳුනකට දමා ගන්න. එය ලිප තබා විනාඩි 5ක් පමණ රත් කර ගන්න. එය නිවුණු පසු දෙහි බෑයක යුෂ මිරිකා ගන්න. සාදා ගත් ද්‍රාවනය ඔසප් දවස් වලදී පානය කරන්න. ඔබේ අපහසුකම් වලට ඉක්මන් සහනයක් අත් වෙනු ඇත.

5 කුරුඳු

කුරුඳු කැබැල්ලක් ගෙන එය හොඳින් කුඩු කර ගන්න. ඉන් පසුව උණු වතුර කෝප්පයකට කුරුඳු කුඩු එක් කර, නිවෙන තුරු වසා තබන්න. එය පානය කිරීමෙනුත් ඔසප් වේදනාව මඳක් සමනය කර ගත හැකියි. කුරුඳු ක්‍රමවත් ඔසප් චක්‍රයක් සකසා ගැනීමටත්, රුධිරය කැටි නොගැසී පහසුවෙන් පිට වීමටත් උපකාරී වෙනවා.

6 කැරට් ජූස්

ඔසප් චක්‍රය අක්‍රමවත් වූ විට දැනෙන බඩේ වේදනාව සමනය කර ගැනීම සඳහා ඔසප් චක්‍රය ක්‍රමවත් කර ගැනීමට උත්සාහ කල යුතුය. කැරට් ඔසප් චක්‍රය ක්‍රමවත් කර ගැනීමට උපකාරී වෙනවා. කැරට් ජූස් පානය කිරීම පුරුද්දක් ලෙස දිනපතා කල යුතුය. අමු කැරට් කැබලි වලට කපා, ජලය සමඟ බ්ලෙන්ඩරයට දමා ගසා ගන්න.

7 ධාන්‍ය වර්ග ආහාරයට එකතු කර ගන්න

ඕනෑම කාන්තාවක් වැඩිපුර ධාන්‍ය වර්ග ආහාරයට එක් කර ගැනීමෙන්, මසකට වරක් ඇති වන ඔසප් වේදනාව දැනෙන ප්‍රමාණය අඩු කර ගත හැකියි.

8 කැල්සියම් සහිත ආහාර වැඩිපුර ලබා ගන්න

වැඩිපුර කැල්සියම් සහිත ආහාර ආහාරයට එක් කර ගැනීමෙන්, මසකට වරක් ඇති වන ඔසප් වේදනාව දැනෙන ප්‍රමාණය අඩු කර ගත හැකියි.

9 යටි බඩ සහ කොන්ද තවන්න

යටි බඩ සහ කොන්ද තැවිය හැකි ආකාර කීපයක්ම තිබෙනවා. යමෙකුගේ ආධාරය ඇතිව හෝ නැතිව මෙය සිදු කල හැකියි. මඳ උණුසුම් ජලය ප්ලාස්ටික් බෝතලයකට පුරවා එමඟින් යටි බඩ සහ පිට කොන්ද තැවිය හැකියි. ඒ වගේම තුවායක් මඳ උණුසුම් ජලයෙහි පොඟවා තවන්නත් පුළුවන්.

10 මඳ උණුසුම් ජලයෙන් ඇඟ සේදීම

මඳ උණුසුම් ජලයෙන් ඇඟ සේදීම මඟිනුත් ඔසප් වේදනාව අඩු කර ගත හැකියි.

11 දිනපතා ව්‍යායාම් කරන්න

දිනපතා ව්‍යායාම් කරන කාන්තාවකට ඔසප් වේදනා ලක්ෂණ පහල යන්නේ ඉතා අඩුවෙනි. ඔසප් දිනයේදීත් සෙමින් ඇවිදීමේ ව්‍යායාමය සිදු කල හැකි නම් වඩාත් සුදුසුයි.

12 සුදු ළුණු

ඔසප් දින වලදී සුදු ළුණු තම්බා ගත් ජලය පානය කිරීමත් හොඳ ඖෂධයක් වෙනවා. ඔසප් වේදනාව අඩු කර සහනය ලබා දීමට සුදු ළුණු තැම්බූ ජලයට හැකියාව තිබෙනවා.  

SHARE