ලය කියන්නේ මිනිසා පමණක් නොව, ලෝකයේ සියලු ජිවින්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්. දිනකට අවම වශයෙන් ජලය ලීටර් දෙකක්වත් පානය කළ යුතු බව කියවෙනවා. සමහරුන් නිතර වැසිකිළි යෑමට සිදු වෙනවාට බියෙන් ජලය පානය කිරීමෙන් වැලකි සිටිනවා. නමුත් එමඟින් ඔබේ සිරුර රෝගී වෙන්න පුළුවන්. ඔබේ සිරුරෙත් මේ වගේ ලක්ෂණ හට ගෙන තිබෙනවා නම්, එයින් හැඟවෙන්නේ ඔබ පානය කරන ජලය ප්‍රමාණය ඔබේ සිරුරට මදි බවයි.

 


fb-like-beg


ඔබේ කටේ වියළි බවක් දැනීම

සමහරුන් කියනවා ඔබට ඇහිලා ඇති “දිව ගිලෙන්න එනවා” කියලා. ඔබටත් ඒ වගේ දැනිලා තියෙනවද? කටේ තෙතමනයක් නොමැතිව, වියළි ස්වභාවයක් නිතරම දැනෙනවා නම් එය හොඳ ලකුණක් නෙවේ. මේ වගේ වෙලාවක සීනි සහිත පානයන් ගැනීමත් සුදුසු නැහැ. එය පුංචි වෙලාවකට ඔබේ පිපාසය නිවා දැමුවත්, නැවතත් දැඩි පිපාසයක් ඇති වීමට හේතුවක් වෙනවා. පානීය ජලය ඔබේ මුඛයේ සහ උගුරේ ඇති ශ්ලේෂ්ම පටල ලිහිසි කරන අතර, ඔබේ මුවේ තෙතමනය දිගු කාලීනව රඳවා තබනු ඇත.

ඔබේ සම වියළියි

ඔබේ සිරුරේ තියෙන විශාලම ඉන්ද්‍රියය සමයි. වියළි සම යනු ඔබේ සිරුර විජලනය වන බව හෙළි කරන ප්‍රධානම ලක්ෂණ වලින් එකක්. සිරුරට ලැබෙන ජලය හිඟ වූ විට දහඩිය දමන ප්‍රමාණය අඩු වේ. එමගින් ඔබේ සිරුර තුල ඇති අපිරිසිදු ද්‍රව්‍ය හා තෙල් ඉවත් කිරීමට නොහැකිවීම මෙහි ප්‍රතිඵලයයි.

ඔබට තද පිපාසයක් දැනීම

ඔබේ ශරීරය ඔබට පවසන දෙයට සවන් දෙන්න. ඔබ මධ්‍යසාර ලබා ගන්නවා නම්, ඔබේ සිරුර වියලෙන එක නවත්වන්න බැහැ. සීනි අධික ආහාර ගැනීම නිසාත් තද පිපාසයක් දැනෙනවා. ඔබේ සිරුරේ තිබිය යුතු ජල ප්‍රමාණය මුලික මට්ටමට පැමිණෙන තෙක් ඔබේ සිරුර විසින් මොළයට සංඥා යවයි. ඔබට පිපාසය දැනෙන්නේ ඒ නිසායි. ඔබට පිපාසය දැනෙන විය එය මඟ හැර වෙනත් වැඩ වල නිරත වෙමින් ඉන්න එපා.

ඔබේ ඇස් වියළියි

සිරුරට ලැබෙන ජලය හිඟ නම්, ඔබට වියළි සහ රතු වුණු ඇස් හිමි වීම වලක්වාගත නොහැකියි. ශරීරය තුළ ජලය නොමැති විට ඔබේ කඳුළු වියළී යයි. සමහරුන්ට විශාල දුකක් දැනුනත් ඇස් වලින් කඳුළු පිට වන්නේ නැහැ. මෙම තත්වය ඔබගේ ඇස්වලට බොහෝ සෙයින් හානි සිදු කළ හැකි බව අවබෝධ කර ගන්න. මෙයට ඇති විසඳුම ඔබ පානය කරන ජලය ප්‍රමාණය වැඩි කිරීමයි.

ඔබේ සංධි වල වේදනා හට ගන්නවා

අපගේ කාටිලේජ වල හා කශේරුකා මණ්ඩලයේ 80% ක පමණ ජල ප්‍රමාණයක් අඩංගු වේ. අප නියැලෙන සෑම කටයුත්තකදීම අපේ සංධි වෙහෙසෙනවා. ඔබේ සිරුරට අවශ්‍ය ජල ප්‍රමාණය නිසි ලෙස ශරීරගත වීමෙන්, හදිසියේ ඇතිවන කම්පන වලදී ඔබේ සංධි වලට හානි සිදු වන්නේ නැහැ.

උදා :  ධාවනය, පැනීම හෝ නොසැලකිලිමත් වැටීම්

ඔබේ මාංශ පේශි වල අපහසුතා මඟ හැරේ

ඔබේ පේශීන්ද බොහෝ විට ජලයෙන් සමන්විත වේ. සිරුරේ අඩු ජල ප්‍රමාණයක් ඇති විට මාංශ පේශි වල ප්‍රමාණයද අඩු වේ. දවස පුරා ජලය පානය කිරීමෙන් වඩ වඩාත් සුවදායී සහ සුවපහසු ඔබේ සිරුර පවත්වා ගැනීමටත්, ඔබේ සිරුරේ නිවැරදි ස්ථානවලට ජලය ගලා යාම, ව්‍යායාම කිරීම ආශ්‍රිතව සිරුරේ පේශි වල ඇතිවන දැවිල්ල හා රෝගී තත්ත්වයන් අඩු කිරීමට උපකාරී වෙනවා.

ඔබ දිගින් දිගටම අසනීප වේ

පානීය ජලය ඔබේ සිරුර තුල ඇති විෂ සහිත ද්‍රව්‍ය නිරන්තරයෙන් ඉවත් කරවනවා. ඔබේ ඉන්ද්‍රියයන් සිරුර තුල ඇති විෂ ද්‍රව්‍ය සිරුරින් බැහැර කිරීමට ක්‍රියා කරනවා. නමුත් ඒ සඳහා ඔබේ ඉන්ද්‍රියයන් වලට ඉන්ධන අවශ්‍යයි. මේ ඉන්ධන වෙන කිසිවකුත් නොව, ජලයයි. ඔබේ සිරුරේ ජලය හිඟ නම් ඔබේ ඉන්ද්‍රියයන් ඔවුන්ට අවශ්‍ය ජලය රුධිරය තුලින් ඇද ගැනීමට උත්සාහ කරනවා. එය නව ගැටලු රැසකට මඟ පාදනවා.

ඔබට තෙහෙට්ටු ගතියක් සහ ඇල්මැරුනු බවක් දැනේ

අප ඉහත සඳහන් කළ පරිදි, ශරීරයේ විජලනය වන විට ඉන්ද්‍රියයන් ඔබගේ රුධිරයෙන් ජලය උරා ගන්නවා.  රුධිරයයේ දියරමය ස්වභාවය නැති වී ඝණත්වය වැඩි වීම සහ ශරීරයේ ඔක්සිජන් අඩු වීම මෙමඟින් සිදු වෙනවා.

ඔක්සිජන් නොමැතිකම නිදිබර ස්වභාවයට හා තෙහෙට්ටුවට මඟ පාදනවා. ඔබේ සිරුරේ සවිබල ගතිය අඩු වීමට හේතු විය හැක්කේ ජලය හිඟ වීමයි.

නිතරම කුසගින්නෙන් පෙලීම

ඔබේ සිරුර විජලනයට පත් වූ විට, ඔබේ ශරීරය තමාට ආහාර අවශ්‍ය වී ඇතැයි සිතීමට පටන් ගන්නවා. මේ නිසා ඔබට මුළු දවස පුරාමත්, රාත්‍රී නින්දේදීත් කුසගිනි දැනෙනවා. ඉතින් නිතර නිතර ආහාර ගැනීමට පෙළඹීම නිසා ඔබ තරබාරු වෙනවා. නමුත් සිරුරට අවශ්‍ය ලෙස ජලය ලබා දීමෙන් මෙම ගැටළුව විසඳෙනවා.

ආහාර ජීරණ පද්ධතියේ ගැටළු ඇති වෙනවා

සිරුරේ පටල සහ ඉන්ද්‍රියයන්ට නිසි ලෙස ක්‍රියාත්මක වීමට ජලය අත්‍යවශ්‍යයි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි ලෙස සිදු වීමටත් ජලය අත්‍යවශ්‍ය වෙනවා.

නිසි තෙත් ස්වභාවය නොමැතිව, ආමාශයේ ක්‍රියාකාරිත්වය පහල වැටෙනවා. ආමාශයික අම්ලය මඟින් ආමාශයේ දැවිල්ලක් ඇති කිරීමට මෙය හේතු වෙනවා.

SHARE