පීරියඩ්ස් හැදෙනකොට අධික වේදනාව ඔබටත් දැනෙනවාද ?

මාසික ඔසප් වීමේදී එහෙම නැත්නම් පීරියඩ්ස් හැදුනාම මුල් දවස් දෙක තුනක් පුංචි හෝ බඩේ කොන්දේ වේඳනාවක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඒ වුනාට සමහර කාන්තාවන්ගේ මේ වේදනාව දරාගැනීමට අපහසු තරම් දරුනු වෙන්නත් පුලුවන්.

fb-like-beg


මෙවැනි වේඳනාවක් ඇතිවීම අපි Dysmenorrhea කියල හඳුන්වනවා. මෙලෙස ලොකු වේඳනවක් මාස්පතා දවස් ගානක් විඳවන්න වීම එයට මුහුන දෙන කාන්තාවන්ට මානසික අසහනයක්. මොකද ඉගෙනගන්න වයසෙ කෙනෙක්නම් ඒ ඉගෙනීමට බාධා වෙනව. රැකියාවක් කරන කෙනෙක්නම් එයට බාධා වෙනව. මවක්නම් ගෙදරදොර දරුවන්ගෙ කටයුතු වලට බාධා වෙනව. වේඳනවක් කියල ඉතිං නිකන් නිදාගන්නත් බැහැනෙ. ඒ නිසා මානසික පීඩාවක් වෙනව.

අධික වේඳනාව, වමනය ඇතිවීම සමහරවිට රෝග තත්වයක් නොවෙන්න පුලුවන්. ඒත් සමහරුන්ගේ මෙය යම් යම් රෝගාබාධ නිසා සිද්ධ වෙනව. මොනවද මේ රෝග, කොහොමද ඒව හඳුනාගන්නෙ, කොහොමද ප්‍රතිකාර කරන්නෙ යන්න සොයාබැලීම වැදගත්.


මෙය සාමාන්‍ය දෙයක් වෙන්නෙ මොන වෙලාවටද?

සාමාන්‍යයෙන් වෙනත් රෝගයක් නැතිව ගර්භාෂ බිත්ති හැකිලීම නිසා එන වේදනාව අපි ප්‍රාථමික ඔසප් වේඳනාව primary dysmenorrhea ලෙස හඳුන්වනව. මේකට හේතුවන්නේ ස්වාභාවිකව පවතින Prostaglandin නැමති රසායනිකයයි.

මේ වේඳනාව සාමාන්‍යයෙන් ආර්ථවය ඇතිවීමට පෙර දින ඇරඹී රුධිර වහනයත් සමග වැඩිවී තුන්වන දිනේදී බොහොවිට අඩුවීයයි. මේ තත්වය රෝගයක් නොවන අතර ගැහැනු දරුවෙක් වැඩිවිය පත්වූ අවදියේදී පටන්ගෙන කල් යන්විට ක්‍රමයෙන් අඩුවෙයි. පලමු දරු උපතෙන් පසුව බොහෝවිට නැතිවී යයි. මෙෆනමික් ඇසිඩ් වැනි වේදනා නාශක මගින් මෙය අඩුකරගන්න පුලුවන්.


එතකොට මේ ආර්ථව වේදනාව අසාමාන්‍ය ලෙස සලකන්නෙ මොනවගේ වෙලාවටද ……….

ද්වීතියික ඔසප් වේදනාව එනම් Secondary Dysmenorrhea කියන්නෙ කිසියම් හෝ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝග තත්වයක් නිසා ඇතිවන වේඳනවට. මෙහි ස්වාභාවයනම් වැඩිවිය පත්වූ මුල් කාලයේ නොතිබූ වේඳනාවක් ජීවිතයේ පසු කාලෙක ඇතිවීමයි. මෙය අසාමාන්‍ය තත්වයක්. ඒ කියන්නෙ රෝගයක් නිසා ඇතිවෙන්නෙ. මෙය කාලයත් සමග වැඩිවෙන ස්වභාවය තමයි තියෙන්නෙ. අනෙක දරාගැනීමට අමාරු වේදනාවක් තමයි ඇතිවෙන්නෙ. මේ වේදනාව ආර්ථවය ඇතිවෙන්න දින කීපෙකට පෙර ඇරඹී රුධිරවහනය අවසන්වී දින කීපයක් දක්වාම පවතින්න පුලුවන්.


මෙලෙස අධික ආර්ථව වේදනාව ඇතිවෙන රෝගනම්,

01. එන්ඩොමෙට්‍රියෝසිස් Endometriosis

ඒ කියන්නෙ ගර්භාෂයේ කුහරයේ මතුපිට ඇති පටක ශරීරයේ වෙනත් ස්තානවල පිහිටීම මෙලෙස හඳුන්වනු ලබනවා. ප්‍රධාන වශයෙන් ඩිම්භකෝෂ සහ ශ්‍රෝණි කුහරය ප්‍රධාන වෙනව. මීට අමතරව ශරීරයේ ඕනාම තැනක මේ තත්ත්වය ඇතිවෙන්න පුලුවන්. මෙහිදී මාසික ඔසප් වීමේදී මේ පටක පිහිටන තැන්වලත් රුධිරවහනය සිද්ධවෙනවා. රුධිරවහනය නිසා හෝ රුධිරය නිසා පටක එකිනෙකට ඇලීම අධික ඔපස් වේදනාවට හේතු වෙනව. ඩිම්භකෝෂ වල රුධිරය එකතුවීම නිසා චොකලට් සිස්ට් chocolate cyst ඇතිවෙනවා.

02. ඇඩිනොමයොසිස් Adenomyosis

මෙහිදී ගර්භාෂ කුහරයේ ඇති සෛල ගර්භාෂයේ බිත්තිය ඇතුලට වර්ධනය වීම මෙලෙස හඳුන්වනවා.

03. ෆයිබ්‍රොයිඩ් Fibroids

මෙය ගර්භාෂ බිත්තියේ මාංශ පේශිවල හටගන්නා පිලිකාමය නොවන ගෙඩි විශේෂයක්. මේවා ගර්භාෂ කුහරය තුලට හෝ පිටට වර්ධනය වෙන්න පුලුවන්. මේ ගෙඩියක ප්‍රමාණය සෙන්ටිමීටර් ගානක සිට අඩියක් හමාරක් පමණ වුනත් වෙන්න පුලුවන්.


කොහොමද මේ රෝග විනිශ්චය කරන්නෙ?

අල්ට්‍රාසවුන් ස්කෑන් එකෙන් ගොඩක් දුරට රෝග විනිශචයකට එන්න පුලුවන්. ඒත් සමහර අයට ලැපරොස්කොපි පරීක්ෂාව කරන්න වෙනවා. මෙහිදී යටිබඩේ කුඩා සිදුරක් හරහා කැමරාවක් ඇතුල්කර අභ්‍යන්තර ස්වභාවය නිරීක්ෂණය කොට රෝග විනිශචයකට එනවා.

රෝග විනිශ්චයට පැමිණි පසුව ප්‍රතිකාර ක්‍රම වේදය පිළිබඳ තීරණය කරනු ලබනවා. මෙය ඖෂධ හෝ ශල්‍ය කර්ම වීමට ඉඩ තිබෙනවා.

රාගම අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි
වෛද්‍ය රෝහිත ප්‍රදීප් මහතා ( MBBS Kelaniya)

SHARE