කෙනෙක්ගේ ගැටලුවකට නිවැරදිව සවන් දෙන්නේ කොහොමද ?

මෙක්ගේ දුකකදී අපිට විසඳුමක් දෙන්න බැරි වුණත්, ඒ කෙනාට සවන් දීමෙන් ඒ දුක සමනය වෙනවා. අපි තව කෙනෙක්ට සවන් දීමෙන් අපේ හදවතේ ඒ කෙනාට ඇති ස්ථානය ඉහල මට්ටමක බව ඒ කෙනාට හැඟෙනවා. ඒ වගේම අපි අනෙකාව තේරුම් ගත බව ඒ කෙනාට දැනෙනවා. කෙනෙකුගේ වේදනාවකදී අපිට ඒ කෙනාට කරන්න පුළුවන් ලොකුම උපකාරය තමයි සවන් දීම. ඒත් බොහෝ දෙනෙක් දන්නේ නෑ තවත් අයෙකුට නිවැරදිව සවන් දෙන හැටි. බොහෝ පවුල් ප්‍රශ්න වල ආරම්භයත් සවන් නොදීමයි. අපේ සමීපතමයන්ට අපේ ආදරය පෙන්වන්න පුළුවන් හොඳම ක්‍රමය සවන් දීමයි. ඒ නිසා අද අපි goodhousekeeping.lk හරහා සවන් දීමේ නිවැරදි ක්‍රමය ගැන කතා කරන්න තීරණය කළා.


fb-like-beg


අවධානය දෙන්න.

කෙනෙක් ඔබට යමක් ගැන විස්තර කිරීමේදී ඔබේ අතින් වන වරදක් තමයි අවධානය ගිලිහීම. වෙනත් දේවල් ගැන කල්පනා කරමින් අනෙකාට සවන් දෙද්දී, ඒ කෙනාට ඒ බව දැනෙනවා.


අනෙකාගේ දෑස් දෙස බලන්න.

වෙන වැඩ කරන ගමන් ඔබ අනෙකාට සවන් දුන්නත්, ඒ කෙනාට දැනෙන්නේ ඔබ සවන් දෙන්නේ නැහැ කියලයි. හුඟක් අය තව කෙනෙක්ට සවන් දෙන්නේ ෆෝන් එකේ ගේම් ගහන ගමන්, ෆේස් බුක් යන ගමන්. එතකොට ඒක අනිත් කෙනාට වේදනාවක් වෙනවා.


බාධා කරන්න එපා.

හුඟක් අය සවන් දෙන්න කැමති නැහැ. ඒ වෙනුවට උපදෙස් දෙන්න තමයි ඔවුන් කැමති. කෙනෙක් දෙයක් කියලා ඉවර කරන්නත් කලින්, ඒ කෙනාට උපදෙස් දෙන්න යාම වැරද්දක්. මොකද, බොහෝ විට ඒ කෙනාට අවශ්‍ය උපදෙස් නොවෙන්න පුළුවන්. ඔහුට ඇත්තටම අවශ්‍ය ඔහුට හොඳින් සවන් දෙන කෙනෙක්. ඒ වගේම ගැටළුව බාගෙට අහගෙන ඔබ අනුන්ට දෙන විසඳුම් වැරදි වෙන්නත් පුළුවන්. ඔබ කතා කළ යුත්තේ අනෙකා කතා කර නිම වූ විටයි.


ඔබ කිව යුතු දේ ගැන කල්පනා කරන්න යන්න එපා.

අනිත් කෙනා තමන්ගේ ගැටළුව කියන්න ගත්තු වෙලාවේ ඉඳන්, සමහරුන් කරන්නේ තමන් මේකට දෙන්න ඕනේ උත්තරය මොකද්ද කියල කල්පනා කරන එකයි. තමන් කිව යුතු දේ ගැන හිතන්න ඕනේ ගැටලුවට සම්පුර්ණයෙන්ම සවන් දුන්නට පස්සෙයි.


ශරීර භාෂාව ගැන සැලකිලිමත් වෙන්න.

අනෙකා කියන දේ අහගෙන ඉන්න ඔබ අකමැති බව දැනෙන විදිහේ සංඥා නිකුත් කරන්න එපා. ඈනුම් යැවීම, වට පිට බැලීම වැනි දේ කරන්න එපා. ඒ වෙනුවට ඔහුගේ දෙනෙත් දෙස බලාගෙන, පිළිතුරු දිය යුතු තැනදී පිළිතුරු දී, සිනා විය යුතු තැනදී සිනා සී ඔහුට අවධානයෙන් සවන් දෙන්න.


අනෙකාට හදිස්සි කරවන්න එපා.

ඔබට ගැටළුවක් පවසන කෙනෙක්ට “මට ඕක කෙටියෙන් විස්තර කරන්න බැරිද?”, “කෙලින්ම කාරණය කියන්න.” වගේ දේවල් කියන්න එපා. එකෙන් ඇඟවෙන්නේ ඔබ දිගු කතා බහකට අකමැති බවයි. සමහරවිට ඒ පුද්ගලයාට තමන්ගේ සිත නිදහස් කර ගැනීමට ඇති එකම මාර්ගය විස්තරාත්මකව සියල්ල ඔබට පැවසීම වෙන්න පුළුවන්.


ප්‍රශ්න අසන්න.

අනෙකාගේ කතාවට බාධා කරමින් කතා කරන්නට යන්න එපා යැයි අපි ඔබට කලින් පැවසුවා. නමුත් ඔබට අපැහැදිලි තැන් වලදී ප්‍රශ්න විමසන්න පසුබට වෙන්න එපා. එවිට ඔබට අනෙකා කියන දේ හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ප්‍රශ්න ඇසීම නිසා, කතා කරන පුද්ගලයාට ඔබ උනන්දුවෙන් ඔහුට සවන් දෙන බව හැඟෙනවා.


මාතෘකාව වෙනස් කරන්න එපා.

යමෙක් උනන්දුවෙන් එක් දෙයක් ගැන කතා කරමින් සිටිද්දී ඔබ මාතෘකාව වෙනස් කර වෙනත් දෙයක් ගැන කතා කරන්නට යන්න එපා.


විනිශ්චය කරන්න යන්න එපා.

“අපෝ ඔයා කරලා තියෙන්නේ හරිම කැත වැඩක්”.
ඔබ අනෙකා කී දේවල් ගැන මේ විදිහට හරි වැරදි පෙන්වා දෙන්න යෑමෙන්, ඔබට තමන්ගේ ගැටළුව ඉදිරිපත් කිරීම ගැන ඔහුට පසුතැවීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ අදහස් දැක්වීම ප්‍රවේශමෙන් කරන්න.


සෑම ගැටළුවකටම විසඳුම් ඔබට දෙන්න බැරි බව පිළිගන්න.

ඔබට අනෙකා වෙනුවෙන් කළ හැකි දෙයක් තියෙනවා නම් කරන්න. නමුත් ඔබට විසඳුමක් දෙන්න බැරි වුණා කියලා දුක් වෙන්න එපා. ඔබ නිවැරදිව සවන් දීමෙන් ඔහුට කළේ ලොකු උදව්වක්.

♦ ඔබ අනෙකා පවසන දෙයට අවධානයෙන් සවන් දෙන බව දැනෙන විට, ඔවුන් ඔබ පවසන දෙයට සවන් දෙන්නට පටන් ගන්නවා.

SHARE