පාසලේදී, රැකියා ස්ථානයෙදී තමන්ගේ අදහස් අනිත් අය ඉස්සරහා කියා ගන්න බැරුව ගොළු වෙන අය ඉන්නවා. මේ ලක්ෂණය තිබෙන අයට මිතුරන් වැඩි පිරිසක් නැහැ. ඔවුන් බොහෝ විට සමාජයේ අනිත් මිනිසුන් අතර කොන් වෙනවා. මොකද අනෙක් අය මේ තත්වය තේරුම් ගන්නේ අහංකාරකමක් විදිහටයි. මේ ගැටළුව සමාජ භීතිකාව කියලා හඳුන්වන්නත් පුළුවන්. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk හරහා මේ බිය ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


කෙනෙකුගේ බිය පසු පස තිබිය හැකි සැබෑ හේතුව රහසක් විය හැක.

♦ ස්නායු දුර්වලතාවයක්

මිනිසාගේ මොළය තුල පණිවිඩ හුවමාරු කරන ස්නායු වල දුර්වලතාවයක් නිසා බිය ඇති වෙන්න පුළුවන්.

♦ පූර්ව අත්දැකීම්

බොහෝ අයට මේ දේ සිදු වන්නේ ළමා අවදියේදීයි. දරුවා ඉතා අසාවෙන් යමක් කරන විට, සෙසු අය දරුවාට සිනාසීම, විවේචනය කිරීම සහ සමච්චලයට ලක් කිරීම දරුවාගේ අනාගතයම අඳුරු කළ හැකි සිද්ධියකි. කුඩා කළ ලැබූ අත්දැකීම අමතක වුවත්, එයින් ලද වේදනාව අමතක නොවන නිසා මේ දරුවා වැඩිහිටියෙකු වූ පසුත් අදහස් දැක්වීමට බිය වෙන්න පුළුවන්. මේ වරද බොහෝ විට සිදු වන්නේ දෙමව්පියන් සහ ගුරුවරුන් අතිනි.

♦ සමාජයේ සිදුවීම් ගැන කලකිරීම

අළුත් අදහසක් දෙන පුද්ගලයන්ව සමාජය විසින් විහිලුවට ලක් කරන ආකාරය දැකීමෙන් සිතට ඇති වන කලකිරීම සහ බිය නිසා ඇතැම් පුද්ගලයන් මුළු ගැන්වේ. තමා අදහසක් ඉදිරිපත් කළ හොත් සමාජය තමාවත් සමච්චලයට ලක් කරාවි යැයි ඇති වන බිය මෙයට හේතු වේ.

♦ ජාන වල බලපෑම

පවුලේ අයෙකු යම් බියකින් පෙළෙනවා නම්, දරුවන්ටත් ඒ තත්වය සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්.


කෙනෙකුගේ බිය පසු පස තිබිය හැකි සැබෑ හේතුව රහසක් විය හැක.

පෙර දිනයේ

♦ ඔබ බිය වන්නේ ඇයි කියලා හඳුනා ගන්න.

අනිත් අය ඉස්සරහා අදහස් දක්වන්න බය වෙන්නේ විවිධ හේතු ඔබේ සිතට වධ දෙන නිසයි. ඇත්තටම හොඳට හිතලා බැලුවොත් ඔබ කතා කළ යුතු දේ ගැන හොඳින් දැනුවත්. ඒත් ඔබ බිය වෙන්නේ අදහස් දැක්වීමේදී ඔබේ අතින් වැරද්දක් සිදු වේවිද, අනිත් අය ඔබට හිනා වෙයිද, ඔබව විවේචනය කරාවිද කියලායි.

♦ සුදානම් වන්න.

ඔබට ඊළඟ දිනයේ යමක් ඉදිරිපත් කිරීමට හෝ පැවසීමට ඇත්නම්, පෙර දිනයේ එයට හොඳින් සූදානම් වන්න. විස්තර සොයන්න. හැකිනම් සියලු දේ කොලයක ලියන්න. කණ්නාඩියක් ඉදිරිපසට වී කතා කර පුරුදු වන්න. ඔබ තනිවම කතා කරමින් ඒවා පටිගත කරන්න. එවිට එය කළ හැකි බවට විශ්වාසයක් ඔබට ඇති වේවි.


කතා කිරීමට යාමට පෙර

♦ සංසුන් වන්න.

අවශ්‍ය දේ කතා කිරීම ඇරඹීමට විනාඩි කීපයකට පෙර, සිත එකඟ කරගෙන හුස්ම ඉහලට සහ පහලට හෙලන්න

♦ බිත්තිය තල්ලු කිරීමේ උපක්‍රමය.

සංගීත තරුවක් වූ Yul Brynner විසින් මෙම උපක්‍රමය භාවිතා කළේ ගීත ගායනාවට පෙර තමාගේ ආතතිය අඩු කර ගැනීමටයි. බිත්තියට අඟල් 18ක් පමණ ඈතින් සිටගෙන අත්ලෙන් බිත්තිය තල්ලු කරන්න. එය සිතේ ඇති බිය සහ පීඩනය අඩු කර ගන්න පුළුවන් හොඳ ක්‍රමයක්.

♦ නළල සම්බාහනය කරන්න.

ඔබේ අතේ ඇඟිලි වලින් නළල තද කරමින් සම්බාහනය කරන්න.


කතා කිරීමේදී

♦ ඔබේ සබකෝලය ඔවුන් නොදන්නා බව අවබෝධ කර ගන්න.

ඔබ බයෙන් ඉන්න බව ඔවුන් දන්නේ නැහැ. මිනිසුන් ඔබේ බිය හඳුනා ගනීවි යැයි ඔබ කල්පනා කරන්නට ගත්තොත් ඔබ තව තවත් බියට පත් වීම වලක්වන්න බැහැ. ඇත්තටම තව කෙනෙක් ඉන්නේ සබකෝලයෙන් කියලා හඳුනා ගන්න දක්ෂ මිනිසුන් ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයයි. ඒ නිසා කෙලින් සිටගෙන, සිනාවක් මුවේ රඳවාගෙන ඔබේ කතාව ආරම්භ කරන්න.

♦ අනිත් අයගේ හැසිරීම ගැන වධ වෙන්න එපා.

සභාවේ සිටින අය හැසිරෙන ආකාරය ගැන සිතන්න යන්න එපා. සමහරවිට ඔවුන් අවුල් සහගත ලෙස බලා සිටීවි, ඈනුම් අරීවී, නිදා වැටේවි. නමුත් එයට හේතුව ඔබේ කතාවේ ගැටළුවක්ම නොවෙයි. සමහර විට ඔවුන් වෙහෙසට පත් වෙලා ඇති, සමහරුන් කිසිම දෙයක යහපතක් නොදකින අය වෙන්න ඇති, තවත් සමහරු ඔවුන්ගේ පෞද්ගලික ගැටළුවක් ගැන සිතමින් වධ වෙනවා ඇති. ඒ නිසා ඔබ ඔවුන්ගේ හැසිරීම ගැන නොසිතා ඔබේ කතාව කරගෙන යන්න.


ඉහත ක්‍රම වලින් විසඳුමක් නොලැබුණේ නම් :

♦ පුරුද්දක් ලෙස භාවනා කරන්න.

මේ තත්වයට භාවනාව හොඳ විසඳුමක්. භාවනාව මඟින් මනස සන්සුන් වන නිසා බියජනක සිතුවිලි අඩු වේ.

♦ වෛද්‍යවරයෙකු හමුවන්න.

ඉහත දැක්වූ සාමාන්‍ය ක්‍රම මඟින් ඔබේ බිය පහව යන්නේ නැති නම්, වෛද්‍යවරයෙකු හමුවීම සුදුසු වෙනවා. වෛද්‍යවරයෙකු විසින් ඔබේ යටි සිතේ ඇති බිය මෝහන ප්‍රතිකාරය සහ උපදේශන ප්‍රතිකාර මඟින් ඉවත් කරනු ඇත.

SHARE