ර්භණී සහ කිරි දෙන මව්වරුන් ආහාර ගැනීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. එයට හේතුව වන්නේ දරුවා පෝෂණය සඳහා මව මත පමණක් යැපෙන නිසා මවගේ පෝෂණ ඌනතාවයන් දරුවා කෙරෙහි බලපෑම් ඇති කරවන නිසායි.

මෙම කාලයෙදී ආහාර පිළිබඳ සැලකිලිමත් වීම දරුවාගේ නීරෝගී වර්ධනයට මෙන්ම දරුවා ලැබීමෙන් පසු මවට ඇති වන පෝෂණ ඌනතාවයන් ද වැළැක්වීමට වැදගත් වනවා.ගර්භණී සමයේ දී විටමින් සහ ඛනිජ ලවණ වැඩි වශයෙන් සිරුරට අත්‍යවශ්‍ය වෙනවා. ඒවා මොනවාද යන්න පහතින් ඔබට කියවිය හැකියි.

fb-like-beg


ෆෝලික් අම්ලය

ෆෝලික් අම්ලය ඌනතාවය කුඩා දරුවාගේ ස්නායු පද්ධතියේ දෝෂ (Spina bifida ) ඇති වීමට හේතු වෙනවා. එම නිසා දරුවා පිළිසිඳ ගැනීමට පෙර සිට ගර්භනී කාලය පුරාම ෆෝලික් අම්ලය නිවැරදිව ගත යුතුයි

ෆෝලික් අම්ලය සිරුරේ රුධිරය නිපදවීමට වැදගත් වන නිසා ෆෝලික් අම්ලය නිවැරදි ප්‍රමාණයෙන් ගැනීම රක්තහීනතාවය (ලේ අඩුකම) වැළැක්වීමට හේතු වෙනවා.

මෙම හේතු නිසා දරු පිළිසිඳ ගැනීමකට කලින් පටන් (මාස 2ක් 3ක් කලින්) ෆෝලික් අම්ල පෙති (දිනකට එක් පෙත්තක්) ගැනීම ඉතා වැදගත් බව කිව යුතුයි


යකඩ


ගර්භණී සමයේදී යකඩ අවශ්‍යතාවය ඉහළ යනවා. මෙම කාලයේදී මවගේ සහ දරුවාගේ රුධිර වර්ධනයට සහ දරුවාගේ වර්ධනයට යකඩ වැදගත් වෙනවා. කෙසේ වෙතත් යකඩ අවශ්‍යතාවය වැඩි වීමට පටන් ගන්නේ ගැබ් ගැනීමෙන් 3 වන මාසයේ සිටයි.

එමනිසා ගර්භණී සමයේ අවසාන මාස 3 දී සහ කිරි දෙන කාලයේදී යකඩ අවශ්‍යතාවය උපරිම වෙනවා. යකඩ පෙති දරු උපතින් පසු මාස 6 ක් දිගටම ගත යුතුය. එමඟින් දරු ප්‍රසූතියෙන් පසු මවගේ සිරුරේ යකඩ මට්ටම අඩු වීම ( රුධිරය වහනය වීම වැනි හේතු නිසා) යථා තත්වයට පත් කරනවා.


කැල්සියම් (Ca)

ගර්භනී සහ කිරි දෙන කාලයේදී මවගේ කැල්සියම් අවශ්‍යතාවය අධිකයි. මව ගන්නා කැල්සියම් ප්‍රමාණය අඩු උවහොත් දරුවාට අවශ්‍යවන කැල්සියම් මවගේ අස්ථි දිය කිරීමෙන් තමයි ලබා ගන්නේ. දීර්ඝ කාලීන කැල්සියම් ඌනතාවය මවගේ අස්ථි දුර්වල වීමට බලපානවා


විටමින් C

යකඩ අවශෝෂණය වැඩි කරන අතර කුඩා දරුවාගේ රෝග වලට ඔරොත්තු දීමේ ශක්තිය වැඩි කරයි. විටමින් C බහුල ආහාර කොටස් 3 ක් දිනකට ගත යුතුයි.


අයඩීන්

සෑම විටම අයඩීන් සහිත ලුණු භාවිත කරන්න.