පේ සමාජය තුල විවධ හේතු නිසා පුද්ගලයන් පිරිසක් විසින් එක පුද්ගලයෙකුව කොන් කර තබන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඔබ කෙනෙකුට රිදවීමට දෑත් භාවිතා කල යුතුම නැහැ. ඔහුව නොසලකා හැරීමෙන් ඔහුව මානසික සහ ශාරීරික රෝගියෙකු බවට පත් කිරීමේ හැකියාව ඔබට තිබෙනවා. මේ සංකල්පය ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ “Silent Treatment” යන වදනිනුයි. මේ ක්‍රමය මොන තරම් භයානක ප්‍රතිඵල ඇති කරනවද කියලා තමයි අද අපි ඔබට විස්තර කරන්නේ.


fb-like-beg


Lifehack වෙබ්අඩවියට අනුව Silent Treatment ක්‍රමවේදයේ නිර්වචනය පහතින් දැක්වේ

යම් පුද්ගලයෙකුව සහමුලින්ම නොසලකා හැරීම, කතා බහෙන් වැලකි සිටීම Silent Treatment ලෙස හඳුන්වයි. යමෙකුව නොසලකා හැරීම ආදරයේ ක්‍රියාවක් නොවේ. එය තනිකරම අශිෂ්ට, අපරිණත සහ අකාරුණික ගණයේ ක්‍රියාවකි. එහි ප්‍රතිඵල ලෙස එයට ගොදුරු වන්නාගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යය දැඩි ලෙස හානියට පත් විය හැක. ඇත්ත වශයෙන්ම එය අපයෝජනයකි.

Silent Treatment අපයෝජනය සිදු විය හැකි ආකාර

  • කාර්යාලයේ හෝ පාසලේ මිතුරන් කීප දෙනෙක් එක් වී තවත් මිතුරෙකු සමඟ කතා බහ කිරීමෙන් වැලකි සිටීම, ඇනුම්පද කීම.
  • තමන්ගේ සහකරු සමඟ අමනාප වූ විට සහකරු සමඟ කතා බහ කිරීමෙන් වැලකි සිටීම. ඇතැම් මව්පියන් දරුවන්ව තමන්ගේ පැත්තට ගෙන, අනෙක් සහකරු කොන් කරවීමට දරුවන්වත් යොදා ගන්නවා. ආදරණියයන් අතර හුදෙකලා වීම නිසා දරුණු මානසික ප්‍රතිඵල ඇති කල හැකියි.
  • දරුවෙකු දඟ වැඩක් කල විට ඊට දඬුවම් ලෙස දෙමව්පියන් දරුවා සමඟ කතා බහ කිරීමෙන් වැලකි සිටීම. මෙවැනි අවස්ථා වලදී දෙමව්පියන් සෙසු සහෝදර සහෝදරියන්ටත් වරද කල දරුවාව කොන් කරන මෙන් උපදෙස් ලබා දෙනවා. දරුවන්ට මේ ගැන නිසි වැටහීමක් නැති නිසාම, ඔවුන් තම දෙමව්පියන්ව අනුගමනය කරමින් අදාළ දරුවාව කොන් කර දමනවා.
  • දරුවන්ව කොන් කිරීම ඇතැම් පාසල් ගුරුවරු අතිනුත් සිදු වෙනවා. මෙවැනි අවස්ථා වලදී සෙසු දරුවනුත් වැඩිහිටියන් අනුගමනය කරමින් අදාළ දරුවාව කොන් කර දමනවා.

Silent Treatment ක්‍රමවේදයට ගොදුරු වන්නාට ඇති වන උපද්‍රව

  • මානසික සෞඛ්‍යය දුර්වල වීම   

මෙයට ගොදුරු වන්නාගේ මානසික ආතතිය ක්‍රම ක්‍රමයෙන් වැඩි වී විශාදය දක්වා දිවෙනවා. ඔවුන් තනිකම, ප්‍රතික්ෂේප කිරීමට ලක් වීම, බලාපොරොත්තු බිඳ වැටීම තුලින් ඉච්චාභංගත්වයට පත් වෙනවා. මෙවැනි තත්වයකට ගොදුරු වන දරුවෙකු තුල ඇති වෙන මානසික ආතති ප්‍රමාණය වැඩිහිටියෙකුට සාපේක්ෂව ඉතා අධිකයි.

  • ශාරීරික සෞඛ්‍යය දුර්වල වීම

මෙයට ගොදුරු වන්නාට ප්‍රථමයෙන් තදබල හිසරදය, පාචනය හෝ මලබද්ධය, අනිද්‍රාව (නින්ද නොයෑම), ශාරීරික තෙහෙට්ටුව ඇති විය හැකියි. තවදුරටත් එයට ගොදුරු වීමෙන් ආහාර ගැනීමේ අක්රමිකතා, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, රුධිර කැටි ගැසීම, මුමුත්‍රා පද්ධතියේ සහ බඩවැල් වල ගැටළු, ස්නායු ආබාධ සහ පිළිකා වැනි බරපතල රෝග දක්වා ඇති විය හැකියි

  • සබඳතා දුර්වල වීම

ඇතැම් විට මිනිසුන් තවත් අයෙකුව කොන් කර දැමීමෙන් අපේක්ෂා කරන්නේ සබඳතාවය තර කර ගැනීමයි. පෙම් සබඳතාවයකදී එක් සහකරුවෙක් අනෙක් සහකරුව නොසලකා හැර සිටින්නේ, අනෙකාව තමාට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමටයි. එයින් දෙදෙනා අතර සබඳතාවය තර කර ගැනීමට හැකි වෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. නමුත් එම බලාපොරොත්තුව ඉෂ්ඨ වන්නේ නැහැ. නොසලකා හැරීමට ලක් වූ සහකරු ප්‍රථමයෙන් උත්සාහ කරන්නේ සබඳතාවය රැක ගැනීමට වුවත්, නැවත දෙදෙනා මිතුරු වූ පසු බොහෝ විට ඔහුගේ සිතේ ඉතිරි වන්නේ කලකිරීමක්. හේතු පැහැදිලි නොකෙරූ වෙන් වීම් පසුපස ඇති සැබෑම හේතුව මෙය බව සනාථ වී තිබෙනවා.

  • අපයෝජකයන්ගේ ගොදුරු බවට පත් වීම

නිසි ආදරය නොලැබීම, නොසලකා හරිම වැනි කරුණු නිසා පුද්ගලයන් මනසින් දුර්වල වන බව මේ වන විටත් ඔබ අවබෝධ කරගෙන අවසන්. පිටස්තර පුද්ගලයෙකුගේ කරුණාවන්ත වචනයක් පවා එවැනි අයෙකුට මහමෙරක් සේ දැනෙන්නට පුළුවන්. එවැනි මානසිකත්වයකින් යුතු අයෙකුට අපයෝජන අරමුණකින් සමීප වන්නෙකුට පහසුවෙන්ම ගොදුරු විය හැකියි. විශේෂයෙන්ම Silent Treatment දණ්ඩනයට ගොදුරු වූ දරුවන් මෙවැනි බරපතල අනතුරක සිටිනවා.  

   

SHARE