රුවන් කියන්නේ මල් වගේ අහිංසක පිරිසක් බව හැමෝම දන්නවා. එත් සමහර දරුවෝ ටිකක් විතර මුරණ්ඩු වෙන අවස්ථාත් නැතිවම නොවේ. එත් පොඩි දරුවන්ගේ පොඩි පොඩි මුරණ්ඩුකම් වලට ඔබ බිය වෙන්න ඕනේ නැහැ. නමුත් අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබ වෙත ඉදිරිපත් කරන මේ ලක්ෂණ ඔබේ දරුවා තුල තිබෙනවා නම්, ඔබ අනිවාර්යයෙන්ම පියවර ගත යුතුයි.


fb-like-beg


සමාව දීමට ඇති නොහැකියාව

තමාට විරුද්ධව, තමා කැමති සුළු දේවල් සිදු නොවන විට දරුවාට එය ඉවසා ගැනීමට හැකි විය යුතුයි. නමුත් ඇතැම් දරුවන්ට මේ හැකියාව නැහැ. ඔවුන් පුංචි දේටත් පාලි ගැනීමට උත්සාහ කරනවා. තමා එක්ක සෙල්ලම් කරන්න සුරතලා හෝ දරුවාගේ සහෝදරයා පැමිණියේ නැහැ කියලා, දරුවා ඔවුන්ට පහර දීමට උත්සාහ කරනවා නම් එය නරක ලකුණක්. මෙවැනි දරුවන්ට සමාව දීමට උගන්වන්න. විවිධ අවස්ථාවන්හිදී තමාගේ හැඟීම් පාලනය කර ගත යුතු ආකාරය කියා දෙන්න. ඔබ ඔවුන්ගේ පරමාදර්ශී චරිතය වී, සාමකාමී ලෙස හැසිරී පෙන්වන්න.

තමා කල වරද අනුන් පිට පැටවීම

දරුවන්ගේ අතින් සිදු වන්නේ ඉතා සුළු වැරදි. සමහර දරුවෝ ඉන්නවා තමාගේ අතින් බඳුනක් බිඳුණු විට, පොතක් ඉරුණු විට එහි වරද තමාගේ සහෝදරයා වෙත පැටවීමට උත්සාහ කරනවා. මෙය හිනා වෙලා, නොසලකා හරිය යුතු වරදක් නම් නෙවෙයි. ඔහු වැඩිහිටි වියට පත් වූ පසු සිදු වන දරුණු වැරදිත් අනුන් පිට පැටවීමට උත්සාහ කරාවි. මේ නිසා තමා කල වරද පිළිගැනීමට දරුවාට උගන්වන්න. බොහෝ දරුවන් තමාගේ වැරදි පිළිනොගන්නේ මව්පියන් පහර දේවි යැයි ඇති බිය නිසයි. මෙය නරක පුරුද්දක්. අනාගතයේදී මේ තත්වය තවත් බරපතල වීම් අවදානමක් ඇති නිසා, එය නවත්වා දමන්න.

පමණට වඩා මුරණ්ඩු වීම

දරුවන් මුරණ්ඩු වීම සාමාන්‍ය ලක්ෂණයක්. නමුත් සමහර දරුවන් පමණට වඩා මුරණ්ඩුයි. දරුවන් ඕනෑම දෙයක අන්තයට නොයා, මධ්‍යමව සිටීමේ හැකියාව ඔබ විසින් පුරුදු කරන්න. දරුවා මුරණ්ඩු වීම පසුපස ඇති හේතුව වටහා ගැනීමට උත්සාහ කරන්න. ඔවුන් සිතන ආකාරය තේරුම් ගැනීමට උත්සාහ කරන්න. ඔවුන්ට කිරීමට අවසර ඇති දේ සහ කිරීමට අවසර නොමැති දේ ඔවුන්ට වටහා දෙන්න.

උදා : “මේ වෙලාවේ කේක් කෑවොත් ඔයාට රෑට කන්න බඩගිනි නැති වෙයි” වගේ දෙයක් වෙනුවට, මේ විදිහට කියන්න.

“ඔයාගේ සුප් එක ඉවර කරනකම් ඔයාට කේක් කන්න අවසර නැහැ.”

බොහොම පැහැදිලිව ඔබට පැවසීමට ඇති දේ පවසන්න. ඔවුන්ගේ දබර කිරීම්, හඬා වැටීම් සහ බැන වැදීම් වලට ඔබේ තීරණය වෙනස් කිරීමට ඉඩ දෙන්න එපා.

දෙමව්පියන්ව මෙහෙයවීම

සමහර දරුවන් තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීම වෙනුවෙන් තම දෙමව්පියන්ව මෙහෙයවනවා. වෙළඳ සලකදී මෙවැනි දරුවන් හදිසියේම යම් යම් දේ ඉල්ලා හඬා වැටෙන්නට පටන් ගන්නවා. එසේ නැතිනම් වෙනත් ක්‍රම භාවිතා කරමින් දෙමව්පියන්ව බිය කරවනවා. මේ වගේ වෙලාවට ගොඩක් දෙමව්පියෝ කරන්නේ දරුවාට අනුකම්පා කර, ඔහු ඉල්ලන දේ ලබා දීමයි. නමුත් මෙයින් දරුවාටත්, දෙමව්පියන්ටත් සිදු වන්නේ හානියක්. ඔබ දරුවා කාලයක් තිස්සේ ආසාවෙන් බලා සිටින දෙයක් ලබා දීමේ කිසිදු වරදක් නැහැ. නමුත් දරුවාට ඇති වන හදිසි ආශාවන් මත ඔහු ඉල්ලා සිටින සෑම දෙයක්ම ඔහුට ලබා දීම වැරදියි. සමහර දරුවන් ඔවුන්ට අවශ්‍ය අවධානය නොලැබෙන විටත් මෙසේ හැසිරෙනවා. මේ නිසා ඔවුන්ගේ හැසිරීමට බැන වැදීමට උත්සාහ නොකර ඔවුන්ට අවශ්‍ය ආදරය ලබා දෙන්න. ඔවුන් සමඟ කාලය ගත කරන්න. මේ ගැටලුව ක්‍රම ක්‍රමයෙන් අඩු වී යනවා.

විනාශ කර දැමීමේ ආශාව

සමහර දරුවන් කිසිම හේතුවක් නැතුව තමන් සතු පොත් පත්, පත්තර ඉරා දමනවා. කතුරක් ගෙන මේස රෙදි, ඇඳ රෙදි කීතු වලට කපා දමනවා. මේ වගේ හැසිරීම් ඉවසා සිටීමෙන් අනාගතයේදී දරුවා සිදු කරන දේවල් දරුවාට සහ අන් අයට කරදරයක් විය හැකියි. මේ ආකාරයේ හැසිරීම වරදක් බව දරුවන්ට ඒත්තු ගන්වන්න.

SHARE