වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන Hippocrates වරක් මෙලෙස පවසා තිබෙනවා. ඒ “මනුෂ්‍යයාගේ හොඳම ඖෂධය ඇවිදීමය” යන්නයි. ඇත්තෙන්ම ඇවිදීමේ ව්‍යායාමයේ නිරත වීමෙන් ඔබට සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත් කර ගන්න පුළුවන්. දිනකට විනාඩි 15- 30ත් අතර කාලයක් ඇවිදීමෙන් ඔබට ඔබේ රූපය ලස්සන කර ගන්න වගේම, ලෙඩ රෝග රැසකින් සුවය ලබා ගන්නටත් හැකි වේවි. ඉතින් අද අපි අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ඇවිදීමේ ප්‍රතිලාභ ගැන ලිපියකුයි.


fb-like-beg


1 මොළයේ ධනාත්මක වෙනස්කම්

ඇවිදීමේ ව්‍යායාමය මඟින් ඔබේ මානසික සෞඛ්‍යය ඉහල නංවනවා. එමඟින් ඔබට මානසික රෝග වැළඳීමට ඇති ඉඩ කඩ අඩු කරවනවා. එමෙන්ම ඇල්මයිසර් රෝගයෙනුත් ඔබව ආරක්ෂා කරනවා. එසේ වන්නේ ඇවිදීම මඟින් ඔබේ Endorphin හෝර්මෝනය ක්‍රමවත් කරන නිසායි.

2 පෙනීම වැඩි දියුණු කිරීම

ඇසේ පීඩනය අඩු වීම ඇවිදීම නිසා හිමි වන සෞඛ්‍යමය ප්‍රතිලාභයක්. එමඟින් පෙනීම වැඩි දියුණු වෙනවා. ඇස් රෝග වැළඳීම අඩු වෙනවා.

3 හදවත් රෝග වැළඳීමේ අවදානම අඩු වෙනවා

American Heart Association පවසන ආකාරයට ඇවිදීම මඟින් හදිසි හෘදයාබාධ ඇතුළු හදවත් රෝග ගණනාවක් වැළඳීමේ අවදානම පහ වී යනවා. එයට හේතුව වන්නේ ඇවිදීමේ ව්‍යායාමය මඟින් අධි රුධිර පීඩනය පාලනය කිරීම, කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම සහ රුධිර සංසරණ වේගය ක්‍රමවත් කරන නිසාය.

4 පෙනහළු වල පරිමාව ඉහල නැංවීම

ඇවිදීම මඟින් ඔබේ සිරුරට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය ඉහල යනවා. ඔබේ සිරුර පුරා ඔක්සිජන් රැගෙන යන්නේ රුධිරයයි. වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලැබීමෙන් ඔබේ පෙනහළු වල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වෙනවා. ඔබේ පෙනහළු නිරෝගී වෙනවා.

5 දියවැඩියා රෝගය වැළඳීමේ අවදානම අඩු කිරීම

ඇවිදීම ඔබට දියවැඩියා රෝගය වැළඳීමේ අවදානම අඩු කරවනවා. එමෙන්ම අග්න්‍යාශයේ සෞඛ්‍ය තත්වය ඉහල නැඟීමත් මෙහි අතුරු වාසියක්. අග්න්‍යාශය දුර්වල වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ දියවැඩියා රෝගයයි. එයින් ඉන්සියුලින් නිපදවීමේ ක්‍රියාවලිය අඩාල වෙනවා. සිරුරේ ග්ලූකෝස් පරිවෘත්තිය ක්‍රියාවලිය අඩාල වීම සහ සෛල තුලට ග්ලූකෝස් උරා ගැනීමේ අවදානමත් ඉන් පහ වෙනවා.

6 ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍යමය තත්වය ඉහල නැගීම

දිනකට මිනිත්තු 30ක් ඇවිදීම මඟින් මහාඅන්ත්‍රයේ පිළිකා සෑදීමේ අවදානම අඩු වෙනවා. එමෙන්ම ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රියාකාරී කිරීම, මල බද්ධය අඩු කිරීම වැනි සෞඛ්‍යමය ප්‍රතිලාභත් හිමි වෙනවා.

7 මස්පිඬු ශක්තිමත් වීම

ඇවිදීම නිසා ඔබේ මස්පිඬු වල ඇති අනවශ්‍ය මේදය ඉවත් වී, ඔබගේ තරබාරුව නැති වී යනවා. පියවර 10,000ක් ඇවිදීම තරබාරු ඔබට ඉතා හොඳ ව්‍යායාමයක්.

8 ඇට කටු සහ සන්ධි ශක්තිමත් වීම

ඇට කටු වල දුර්වලතා මඟ හරවන්නටත් මේ ඇවිදීමේ පුරුද්දට පුළුවන්. ආතරයිටිස් රෝගය වැළඳෙන අයට වෛද්‍ය උපදෙස් ලෙස දිනකට මිනිත්තු 30ක් ඇවිදීම නිර්දේශ කරනවා.

9 කොන්දේ වේදනා සමනය වීම

වැඩි වෙහෙසක් දරා කලයුතු ඇතැම් ව්‍යායාම වලදී කොන්දේ අමාරු ඇති වෙනවා. නමුත් ඇවිදීම වැනි අඩු වෙහෙසක් දරා කල යුතු ව්‍යායාම වලින් කොන්දේ වේදනා අඩු වෙනවා. ඇවිදීම මඟින් කශේරුකා පද්ධතියට සහනය සලසනවා. ඒ තුල රුධිර සංසරණය ඉහල නංවනවා. ඔබේ සිරුරේ නම්‍යතාවය වැඩි කිරීමට මෙය උපකාර කරනවා.

10 මනස සුවපත් කිරීම

ඇවිදීම ඔබේ සිත සැහැල්ලුවට පත් කරවනවා. එයින් ඔබ තුල ඇති සෘණාත්මක සිතුවිලි සහ ආවේග ඉවත් වී යනවා. විශාදය වැනි රෝගී තත්වයන් සුව වෙනවා.

11 නිර්මාණශීලි හැකියාව වැඩි වීම

එක තැන සිටින්නෙකුට සාපේක්ෂව පුරුද්දක් ලෙස දිනපතා ඇවිදීමේ ව්‍යායාමයේ නිරත වන අයෙකු තුල නිර්මාණාත්මක අදහස් ඇති වන ප්‍රමාණය වැඩි බව පැවසෙනවා.   

12 දෙපයේ ගැටළු සමනය වීම

මැදි වියට එළඹීමත් සමඟ නහර ගැට ගැසීම, දෙපා ඉදිමීම වැනි රෝගී තත්වයන්ට බොහෝ දෙනෙක් ගොදුරු වෙනවා. නමුත් පුරුද්දක් ලෙස ඇවිදීමේ ව්‍යායාමයේ නිරත වන අයෙකුට නම් මෙම ගැටළු වලට මුහුණ දීමට සිදු වන්නේ නැහැ.

SHARE