හැමදාම තරුණ බව රැක ගන්න නම් මේ ආහාර අනිවාර්යයෙන්ම ඔබේ කෑමට එකතු කරන්න

යස 40 ගණන් වල ඉන්න කාන්තාවෝ 10 දෙනෙක් ගත්තොත් එකිනෙකාගේ පෙනෙන වයස් ඉතාම වෙනස්. සමහර අය විසි ගණන් වල වගේම ලස්සනට ඉන්නවා. තවත් සමහරු හරියට පනස් ගණන් වල මැද වගේ වැහැරිලා ගිහින්. ශාරීරික වයස එක වුනත් පෙනෙන වයස වෙනස් වෙන්න නම් හේතු කාරණා ගොඩක් තිබෙනවා. ඒ කාරණා සේරම එක කරුණකට සරලව සම්පිණ්ඩනය කලොත් තමන් තමන්ව නිසි ලෙස බලා නොගැනීම කියන කාරණාවට ගොනු කරන්න පුළුවන්.

අපි කාටවත් වයස ගෙවෙන එක නවත්වන්න බැහැ. නමුත් එහි වේගය අඩු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අකාලේ වයසට යන එක නවත්වන්න පුළුවන්. වයසින් මුහුකුරා යද්දී ලස්සන රූපයක් වගේම හොඳ සෞඛ්‍යට පලවෙනිම පියවර තමයි නිසි විදිහට ආහාර ගැනීම.

ආහාර කියන්නේ ශරීරයේ ප්‍රාථමික තැනුම් ඒකකය. සිරුර නිසි ලෙස වැඩ කිරීමට නම් අවශය පෝෂණය සපයන්න ඕනේ. නිසි ලෙස නඩත්තු කිරීමක් නොකරද්දී, තෙල් නොදා ඉද්දි, ඉන්ධන නොසපයද්දී ඕනෙම මැෂිමක් වේලාසනින්ම කැඩෙනවා. මල බැඳෙනවා. දුර්වර්ණ වෙනවා. මේ වගේ ශරීරයත් අකාලයේ වියපත් වෙනවා. සම රැලි වැටෙනවා. රෝග වලට ඔබ ගොදුරු වෙනවා.


fb-like-beg


ශරීරය වෙනස් වෙද්දී ආහාර ගැනීම වෙනස් කරන පිළිවෙල

අපි කුඩා කාලේ වගේ නොවේ 20 ගණන් පනිද්දී ශරීරය වැඩ කරන හැටි වෙනස් වෙනවා. ආහාර ජීර්ණයේ ඇති කාර්යක්ෂම බව අඩු වෙනවා. ඉස්සර කන ප්‍රමාණයෙන් භාගයක් කෑවත් බර දෙගුණයක් වැඩි වෙනවා. ඒ ශරීරයේ පරිවුර්තීය ක්‍රියා මන්දගාමී වෙන නිසා. කාර්ය බහුල කමත් එක්ක ඔබ පෝෂණයෙන් අඩු කෘතීම ආහාර වලට හුරු වෙලා නැත්නම් ආහාර වේල් අතහැර දමනවා. මෙවැනි දේ නිසා සීඝ්‍රයෙන් ඔබේ වයස් ගත වීම සිදු විය හැකියි. එම නිසා අපි Goodhousekeeping.lk වෙබ් අඩවිය තීරණය කළා ඔබට කියා දීමට අකාලයේ වයස් ගත නොවීමට ඔබේ ආහාරයේ කළ යුතු වෙනස්කම් පිළිබඳව.


වතුර ආහාරයක් නම් නොවේ?

කවුද කියන්නේ? වතුර ශරීරයට වඩාත්ම වැදගත් ආහාරය වෙනවා. ඔබ විසි ගණන් පසු කරද්දී තමා වඩා හොඳින් ජලය පානය කිරීම අවශ්‍ය වෙන්නේ. වැඩි වැඩියෙන් ජලය පානය කිරීම ඔබේ තරුණ බව රැකීමට ඉවහල් වෙනවා. අපේ ශරීරයේ වැඩි කොටසකම අඩංගු වෙලා තිබෙන්නේ ජලයයි. දේහ සෛල වලට ඇති තරම් ජලය නොලැබෙද්දී ශරීරයේ ඇති විෂ සහ අපවිත්‍ර ද්‍රව්‍ය නිසි ලෙස ශරීරයෙන් බැහැර වෙන්නේ නැහැ. ඔබ ඉක්මනින් වෙහෙසට ලක් කරන්න විජලනය සමත්.

ඒ වගේමයි ඔබට වතුර තිබහ දැනෙද්දී මොලය එය බඩගින්න ලෙස වරදවා වටහා ගන්නවා. එම නිසා වැඩි ආහාර ප්‍රමාණයක් නොදැනීම ගිල දැමෙන්න පුළුවන්. හැමවිටම ජලය පානය කර ශරීරය විජලනයෙන් ආරක්ෂා කිරීම තමයි වයසට යාම අඩු කරන ආහාර වට්ටෝරුවේ පලවෙනි සහ ඉතාම වැදගත් කොටස.


විටමින් C බහුල ඇඹුල් පලතුරු

මේවා ශරීරය වයසට යවන ඔක්සිකරණ ක්‍රියාවලිය නවත්වන ප්‍රතිඔක්සිකාරක (antioxidants) බහුල ආහාර වශයෙන් සැලකෙනවා. විටමින් C සහ E සෛල වලට වෙන හානිය අවම කරනවා. බ්ලු බෙරි, දොඩම්, දෙහි, ලෙමන්, නාරන් වගේ දේවල් වැඩි වැඩියෙන් ඔබේ ආහාරයට එක කරන්න කාලයයි මේ. දීර්ඝායුශ වළඳන ජපාන වැසියන්ගේ ආහාරයේ ඇති ප්‍රධානම අංගයක් තමා මේ පලතුරු විශේෂයන් කියන්නේ. ඔබත් ඔබේ තරුණබව සහ නිරෝගී කම රකින්න නම් මේවා හැම වේලටම එක් කරන්න.


කෙඳි තන්තුමය ආහාර වර්ග

එළවලු වර්ග, කුරුට්ට සහිත ධාන්‍ය වර්ග , පළතුරු වගේ දේවල් ආහාර ජීර්ණ පද්ධතිය විධිමත් ලෙස පවත්වන්න උපකාර කරනවා. ආහාර ජීර්ණ පද්ධතිය විධිමත් වීම ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉතාම වැදගත්. කෙඳි හෙවත් තන්තු බහුල ආහාර රුධිරයේ සීනි මට්ටම අවම කරනවා. ඒ මගින් අධික තරබාරුව අවම කරනවා. ඒ වගේම ග්ලුකෝස් අවම වීම ඔබේ සමේ තරුණ බව රැකීමට ගොඩක් ලොකු හේතුවක් වෙනවා. ඔබේ රුධිරයේ ඇති සීනි ප්‍රෝටීන් අනු සමග එකතු වෙලා අලුත්ම සංයෝගයක් නිපදවනවා. (advanced glycation end products / AGEs) මේ AGEs මගින් ශරීරයේ විශේෂයෙන්ම ඔබේ සමේ සෛල වලට පහර දීල හානි කරනවා. මේ අතරින් සමේ තද බව සහ ඇදෙනසුලු බව රකින කොලජන් විශේෂයි. කොලජන් අණු එක වරක් විනාශ වුනාම නැවත ප්‍රති ස්ථාපනය කිරීම ඉතාම අසීරුයි. ඒ කියන්නේ සීනි මගින් නැවත හදන්න බැරි හානියක් සමට කරනවා. හැමදාම තරුණ බව රැක ගන්න නම් තන්තු බහුල ආහාර ඔබේ ආහාරයට යොදා ගැනීම අත්‍යවශ්‍යයි.


සැමන් සහ ඔමේගා – 3 බහුල ආහාර

සැමන්, මැකරල් සහ සාඩින් වගේ ඔමේගා 3 බහුල මාළු වර්ග කියන්නේ වයස් ගත වීම පාලනය වෙන්න ඔබේ ආහාරයට වැඩියෙන් එකතු කර ගත යුතු ආහාර වර්ගයක්. සතියකට තුන් වතාවක් ආහාරයට ගැනීම වෛද්‍යවරු විසින් යෝජනා කරනවා. ඔමේගා 3 මේද අම්ලය හදවතේ සුවය සදහා වගේම සමේ කොලජන් ආරක්ෂා කර ඇදෙන සුළු බව රැක දෙනවා. ඒ අතරේ රැලි වගේ වයස් ගත වීමේ ලක්ෂණ එක්ක සටන් කරනවා. ඒ නිසා ඔබේ සෞඛ්‍යට වගේම සුන්දර රුවටත් මේ මේද අම්ල අඩංගු මාළු ආහාරයට ගැනීමත් ඔබ විසින් කළ යුතුයි.


ඔලිව් තෙල්

ඔලිවු තෙල් වල අඩංගු විටමින් E, Carotenoids, phenolic compounds වගේ ප්‍රති ඔක්සි කාරක ශරීරය මගින් නිපදවන free radicals සමග සටන් කර ඔබේ තරුණ බව රැක දෙනවා. නරක කොලෙස්ටරෝල් ලෙස හඳුන්වන LDL සැලකිය යුතු ලෙස අවම කරන්නට ඔලිවු තෙල් ඉතාම දක්ෂයි. මේ නිසා අකලට වයසට යාම සහ රෝගී වීම වලක්වා ගන්න නම් ඔලිවු තෙලුත් ඔබේ ආහාරයට එක් කර ගන්නම ඕනේ දෙයක් ලෙස හඳුන්වන්න පුළුවන්.


යෝගට්

යෝගට් වල ආහාර ජීර්ණයට හිතකර බැක්ටීරියා වන probiotics යහමින් අඩංගුයි. එය ආහාර ජීර්ණ පද්ධතිය සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. ඒ වගේම වයස සමග එන අස්ථි වල හායනය වලක්වන්න යහමින් කැල්සියම් අඩංගුයි. යෝගට් සමග විටමින් D ලබාදෙද්දී ආහාර වල පෝෂක ශරීරයට උරා ගැනීම පහසු කරවනවා. ඒ වගේම සම රකින්න අවශ්‍ය ප්‍රෝටීන් යෝගට් වල අඩංගුයි. ප්‍රෝටීන් කියන්නේ අපේ සෛල වල ප්‍රාථමික තැනුම් ඒකක වලින් එකක්. ආහාරයේ ප්‍රෝටීන් අඩු වෙනවා කියන්නේ ඉක්මනින් වයසට යනවා කියන එකයි. මිසරයේ රූමත් රැජින ක්ලියෝපැට්රා ගේ රූපය රැකීමට ඇය විශේෂ ආහාර වේල් සහ සත්කාර නියම කර තිබුනා. ඔබට මතක ඇති අපි පෙර ලිපියක සඳහන් කරා ඇයගේ කිරි ස්නානය ගැන. ඒ වගේම ඇය ඉතාම උසස් ගණයේ යෝගට් ඇගේ ආහාර වේලට දිනපතා එක්කළ බව සඳහන් වෙනවා. මේ අනුව බලද්දී යෝගට් කියන්නෙත් හැමදාම තරුණ වෙන්න නම් කන්න ඕනේ මැජික් ආහාර වලින් එකක් තමයි.


ඇට වර්ග

කජු, රටකජු වගේ ඇට වර්ග වල ඔමේගා 3 මේද අම්ල, අසන්තෘප්ත මේද, තන්තු, ප්‍රෝටීන් වැනි දේ බහුලව අඩංගු වෙනවා. ඔමේගා 3 අම්ලය සමේ නිරෝගී කම සහ තරුණකම රැකගන්න උදවු වෙන ප්‍රතිඔක්සිකාරක වලින් අනූනයි. ඒ වගේම ප්‍රෝටීන් සමේ සෛල වල වයසට යාම පාලනය කරනවා. ඇට වර්ග හදවතටත් හිතකරයි. ඒ නිසා ඇට වර්ග ආහාරයට එකතු කිරීම තරුණකම හැමදාම රැකගන්න ලොකු උදවුවක් වෙනවා.

SHARE