සෑම යුවතියකටම තමන්ටම කියලා, හිමි වුණු සුන්දරත්වයක් තිබෙනවා. මේ පරිපුර්ණ සුන්දරත්වය වැඩි කර පෙන්වීම හෝ අඩු කර පෙන්වීම සිදු වන්නේ ඔබ සිදු කරන විලාසිතා අනුවයි. ඉතින් ඔබ විලාසිතා කිරීමේදී සිදු කරන වැරදි කීපයක් නිසා ඔබට උපතින්ම හිමි වෙලා තිබෙන, නියමිත සුන්දරත්වය අඩු වී පෙනිය හැකියි. අද අපි අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබට මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්නට තීරණය කළා.


fb-like-beg


අන්තිම මොහොතේදී ලැස්ති වෙන්නට යාම

ගමනක් යන්න කලින් හැඩ වෙන එක කාන්තාවන්ගේ පුරුද්දක්නේ. ඉතින් ලැස්ති වෙන්න ඇති තරම් වෙලාවක් ඔබ ඒ සඳහා වෙන් කරන්නම ඕනේ. එහෙම නැතුව අන්තිම මොහොතේදී ලැස්ති වෙන්න ගියොත් නම් ඔබට නිසි විදිහට ලෑස්ති වෙන්න ලැබෙන්නේ නැහැ. පමා වෙලා ලෑස්ති වෙන්න ගියාම ඇඳුම අයර්න් කර ගන්න වෙලාව මදි වීම, කොණ්ඩය පිළිවෙලට පීරා ගන්න බැරි වීම, මුදු, මාල සහ කරාබු ආදිය පළඳින්න අතපසු වීම වගේ නොසිතූ ඇබැද්දි වලට මුහුණ දෙන්න සිදු වෙනවා.

කාලගුණයට ගැලපෙන ලෙස ඇඳුම් නොඇඳීම

ඔබ මොන තරම් සුන්දර ඇඳුමක් ඇන්දත් වැඩක් නැහැ, එය ඔබ අවට කාලගුණයට ගැලපෙන්නේ නැති නම්. හිතන්න ඔබ මහා දවාලේ, අධික රශ්නයක් තියෙද්දී කෝට් කිට් එකක් ඇඳගෙන යනවා. කන්නාඩියෙන් බලන විට ඔයාට හිතේවි ඔයා ලස්සනයි කියලා. ඒත් මඟට ගිහින් පවන් ගහ ගනිද්දී, අම්මෝ දාඩියයි කියා කියා දඟලද්දී වටේ ඉන්න මිනිස්සුන්ට නම් ඔබේ සුන්දරත්වයක් පෙනෙන්නේ නැහැ. ඒ වගේම තමයි රෑ සිතල වෙලාවක, ඔබ සීතලට ඔරොත්තු නොදෙන ආකාරයේ ඇඳුමක් ඇඳගෙන ගියොත්, ඔබට ඉන්න වෙන්නේ ඇකිලී ඇකිලී. එතකොටත් ඔබ හිතාගෙන හිටපු සුන්දරත්වය ඔබෙන් දිස් වෙන එකක් නැහැ.

තැනට නොගැලපෙන සේ ඇඳගෙන යාම

ඔබ සාරියට මොන තරම් හැඩ වුණත්, විනෝද චාරිකාවක් යන වෙලාවට සාරියක් ඇඳගෙන යන එක ගැලපෙන්නේ නැහැ. එවිට ඔබ අපහසුතාවයට පත් වෙනවා. දුර ගමනක් යන විට අඩි උස පැළඳ යාමත් මේ වගේමයි. ඔබට වරින් වර සපත්තුව ගලවමින්, කකුලේ කැපෙන ස්ථාන වලට ප්‍රතිකාර කරමින් යන්නට වුනොත් ඔබේ නිදහස් බවත්, සුන්දරත්වයත් අහිමි වී යා හැකියි.

ඔබේ සිරුරේ ප්‍රමාණයට නොගැලපෙන ඇඳුම් ඇඳීම

ඕනෙවට වඩා හිර ඇඳුම් ඔබේ සුන්දරත්වය නසනවා. අන්දපු වෙලාවට ඔබව සුන්දරව දිස් වුනත්, කාලය ගත වීමේදී ඇති වන අපහසුතාවයන් එක්ක ඔබේ මුහුණේ ඇති සිනාව සහ නිදහස් පෙනුම නැතිවී යනවා. ඔබේ මුහුණෙන් වෙහෙසකාරී සහ කරදරකාරී පෙනුමක් පෙන්නුම් කිරීම වලක්වන්න බැහැ. මේ නිසා ඔබේ සිරුරේ නියමිත ප්‍රමාණයට ගැලපෙන සේ අඳින්න.

සුළු දුර්වලතා සහිත ඇඳුම්   

පොඩ්ඩක් ඉරුණු, රැළි වුනු ඇඳුම් ඔබ කවුරුවත් දකින එකක් නෑ කියලා හිතාගෙන අඳිනවා ඇති. ඇඳුම මදින්න කම්මැලි කමට, පොඩි වුනු පාරවල් කව්රුවත් දකින එකක් නෑ කියලා හිතාගෙන ඔබ අඳිනවා ඇති. ඒත් ඒ දේවල් අනිත් මිනිස්සු නොදැක ඉන්නේ නැහැ.

ආභරණ නොපැළඳීම

ආභරණ වලින් පුළුවන් ඔබේ සුන්දරත්වය තවත් ඉස්මතු කරලා පෙන්වන්න. එත් සමහරු ආභරණ පැළඳීම ගැන උනන්දු වන්නේ නැහැ. බෙල්ට් එකක්, ඔරලෝසුවක් පැළඳීමෙන් පවා ඔබේ රුව ඉස්මතු කර පෙන්විය හැකියි. අවශ්‍ය වන්නේ වටිනාකමින් වැඩි ආභරණ පැළඳීම නෙවෙයි. ඔබේ ඇඳුමට ගැලපෙන ලෙස ආභරණ පැළඳීමයි.

බාල රෙදි වර්ග භාවිතය

මිල අඩු වූ පමණින් බාල රෙදි පිලි මිලදී ගන්න එපා. ඔබ ඇඳුමක් මිලදී ගන්නේ දවසක් දෙකක් අඳින්න හිතාගෙන නෙවෙයිනේ. බාල රෙදි පිලි ඉක්මනින් විනාශ වෙනවා. ඒවායේ නියමිත හැඩය දවසක් දෙකක් ඇන්දම වෙනස් වෙනවා. ඒවායේ වර්ණයන් හෝදන වෙලාවට වගේම, අව්වේ දැම්ම වෙලාවටත් අඩු වෙලා යනවා.

වර්ණ ගැලපීම

ඔබ ඇඳුමක් අඳින වෙලාවට වර්ණ ගැලපීම ගැන විශේෂ අවධානයක් යොමු කරනවා නම් ගොඩාක් හොඳයි. අඳින ඇඳුම් වල වර්ණ ගැලපීම ගැන අධ්‍යනය කරන්න. එය ඔබේ සිරුරේ වර්ණයට, ඔබ සහභාගී වන ස්ථානය අනුව සිදු කරන්න.

යට ඇඳුම් නිවැරදිව තෝරා ගන්න

යට ඇඳුම් කාටවත් නොපෙනෙන නිසා ඒවායේ ප්‍රමිතිය ගැන එතරම් සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ කියලා තමයි ගොඩ දෙනෙක් කියන්නේ. එත් ඒක වැරදි මතයක්. ඔබේ උඩු ඇඳුම සුන්දර කර පෙන්වන්නේ යට ඇඳුමයි. ඔබ නිවැරදි ප්‍රමිතියකින් තොරවූ යට ඇඳුම් පළඳිනවා නම්, ඔබේ සිරුරේ හැඩය වෙනස් කර පෙන්වනවා. ඒ වගේම තමයි යට ඇඳුම් වල සුව පහසු බව අඩුයි නම්, ඔබට සිටින්නට වෙන්නේ ආතතියෙන්. එය ඔබේ ඉරියව් සහ මුහුණෙන් පිටතට දිස් වෙනවා.    

SHARE