ප එකිනෙකාගේ සමේ ස්වභාවය එකිනෙකාට වෙනස් වෙනවා. ඔබේ සමේ ස්වභාවය කුමක්දැයි ඔබ දන්නවාද? එය හඳුනාගෙන සිටීම කරුණු කීපයක් නිසා ඉතාමත් වැදගත් වෙනවා. සමට සත්කාර කිරීමේදී, රූපලාවන්‍ය ආලේපන වර්ග තෝරා ගැනීමේදී සමේ ස්වභාවය හඳුනා ගෙන සිටීම වැදගත් වෙනවා. ඔබ සමේ ස්වභාවයට නොගැලපෙන ආලේපන වර්ග ගැල්වූවොත් සමේ විවිධ ගැටළු හට ගන්න පුළුවන්. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා සමේ ස්වභාවය ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


සමේ ස්වභාවය වෙනස් වෙන්නේ කෙසේද ?

සමේ තෙතමනය, පවතින මේද ප්‍රමාණය සහ සංවේදී බව මත සමේ ස්වභාවය වෙනස් වෙනවා.

සමේ ස්වභාවය අනුව සම ප්‍රධාන කොටස් පහකට බෙදා වෙන් කරන්න පුළුවන්

වියළි සම

වියළි සමක් හිමි අයෙකුට විවිධ අපහසුකම් වලට මුහුණ පාන්නට සිදු වෙනවා. වියළි සමේ පොතු ගැලවී යාම, ඉරිතැලීම් ඇති වීම, රතු පැල්ලම් සහ කැසීම් ඇති වීම වැනි ගැටළු ඇති වෙනවා. වියළි සමක් හිමි අයෙකු හිරු එලියට නිරාවරණය වීම නිසා සම ඉරිතැලීම, පොතු ගැලවී යාම, කැසීම, දැවිල්ලක් හට ගැනීම, රළු වීම සහ කොරපොතු හට ගැනීම වැනි ආසාදන වලටත් ලක් වෙනවා. ඒ වගේම වියළි සමක ඇති සිදුරු පැහැදිලිව පිටතට පෙනෙන්නේ නැහැ. ඒ නිසා වියලි සමේ පෙනුම අනෙක් සමකට වඩා පැහැදිලියි. වියලි සමේ සමේ ඇදෙන සුළු ගතිය අඩු වන අතර, අනෙක් වර්ග වලට සාපේක්ෂව සාපේක්ෂව තද ගතියක් තිබෙනවා. මේ සම දෙස හොඳින් බලන කල ඉරි සහිත ස්වභාවයක් පෙනෙනවා.

වියලි සමක් හිමි වීමට හේතු

  • පරම්පරාවෙන්
  • ලබා ගන්නා ආහාර වල බලපෑමෙන්
  • වයස්ගත වීමත් සමඟ
  • ශරීරයේ හෝමෝන මට්ටම් වල ඇති වන වෙනස්කම් නිසා
  • අධික ශීතල සහිත දේශගුනයෙදීත්, දැඩි උනුසුමෙදීත්, හිරු එලියට නිරන්තරයෙන් නිරාවරණය වීම නිසා
  • ඇතැම් ඖෂධ, සබන් සහ රූපලාවන්‍ය ආලේපන වල බලපෑම නිසා.
  • නිතරම උණු වතුර පානය කිරීම නිසා
  • නිතර උණු වතුරින් ස්නානය කිරීමට පුරුදුව සිටීම නිසා

තෙල් සහිත සම

තෙල් සහිත සමක ඇති සුවිශේෂ ලක්ෂණයක් තමයි එය නිතරම දිලිසීම. තෙල් සහිත මුහුණක් අතින් හෝ ටිෂූ කැබැල්ලකින් පිස දැමූ විට තෙල් ස්වභාවය හඳුනා ගන්න පුළුවන්. තෙල් සහිත සමක ඇති සිදුරු වෙනත් වර්ග වලට සාපේක්ෂව විශාල වන අතර, ඒවායින් මේදය වැඩිපුර ගලා එනවා.

තෙල් සහිත සමේ ඇති ගැටළුවක් තමයි එහි කුණු දුවිලි ඉක්මනින් තැවරීම. තෙල් සහිත ස්වභාවය නිසා අවට ඇති කුණු සහ දුවිලි ඉක්මනින් සමේ ඇලෙනවා. එම නිසා තෙල් සහිත සම අඳුරු පැහැයකින් දිස් වෙන්න පුළුවන්. එම ගැටලුවේ අතු ප්‍රතිඵලයක් ලෙස තෙල් සහිත සමේ ඉක්මණින්ම  කුරුලෑ සහ බිබිලි ඇති වෙනවා. 

තෙල් සහිත සමක් හිමි වීමට හේතු

  • පරම්පරාවෙන්
  • මානසික ආතතිය
  • ඇතැම් ඖෂධ වල බලපෑම – උපත්පාලන පෙති
  • හෝමෝන වල ඇති වන වෙනස්කම්
  • මුහුණ පමණට වඩා සක්‍රබ් කිරීම නිසා

සංවේදී සම

සංවේදී සම කියන්නේ ඉතා පුංචි දෙයකින් පවා අසාත්මිකතාවයන්ට ගොදුරු වීමේ අවදාමක පවතින සමක්. ආහාර වලටත්, ආලේපන වලටත්, දුවිල්ලටත් පුළුවන් සංවේදී සමේ අසාත්මිකතා ඇති කරන්න. උදා: රතු වීම, කැසීම, දැවිල්ල ඇති වීම

සංවේදී සමක් හිමි අය තමාගේ සමට අහිතකර ප්‍රතිඵල ගෙන දෙන ආහාර වර්ග සහ ආලේපන වර්ග කලින් හඳුනා ගෙන ඒවා පරිභෝජනය කිරීමෙන් වැලකි සිටීමෙන් මෙවැනි ගැටළු ඇති වීම සීමා කර ගන්න පුළුවන්.

සාමාන්‍ය සම

සාමාන්‍ය සම කියන්නේ ගැටළු අවම සමක්. මේ සමේ පමණට වඩා  වියළි බවක් හෝ තෙල් සහිත බවක් නැහැ. සාමාන්‍ය සමක සංවේදී බවත් සාමාන්‍ය මට්ටමකයි පවතින්නේ. සාමාන්‍ය සමක පෙනුම දීප්තිමත් සහ කාන්තිමත් පෙනුමක් ගන්නවා. එහි රෝම කූප පෙනෙන්නෙත් අවම ලෙසයි. මේ නිසා සම පැහැපත් ගතියෙන් යුක්තයි.

සංයුක්ත සම

සංයුක්ත සම කියන්නේ වියලි බවේත්, තෙල් සහිත බවේත් සම්මිශ්‍රණයක් කිව්වොත් නිවැරදියි. මේ සමේ ඇතැම් ස්ථාන වියළි ස්වභාවයකුත්, ඇතැම් ස්ථාන වල තෙල් සහිත ස්වභාවයකුත් පෙන්නුම් කරනවා.

උදා : නාසය, නළල, සහ නිකට ප්‍රදේශ වල තෙල් ස්වභාවයක් පෙනෙන්නට ඇති අතර අනෙක් ප්‍රදේශ වියළි ස්වභාවයක් පෙන්නුම් කරනවා.

 

 

SHARE