Face Mask එහෙම නැත්නම් මුහුණු ආවරණ කියන්නේ ඉතාම ප්‍රතිඵලදායක රූපලාවන්‍ය සත්කාරයක්. ඒ නිසා Goodhousekeeping.lk අපි ඔබට කියා දෙන්න හිතුවා ෆේස් මාස්ක් වර්ග මොනවද කියල. පාරිසරික සාධක නිසා ඇතිවෙන ඉක්මනින් වයසට යාමේ ප්‍රශ්නය ගැන ගොඩක් කනගාටුවෙන් ඉන්න ඔබටම කියාපු ශීට් ෆේස් මාස්ක් (Sheet Face Mask) එහෙම නැත්නම් පත්‍ර මුහුණු ආවරණ ගැනත් හොඳ විස්තරයක් මගින් ඔබව දැනුමත් කරන්න හිතුවා. ශීට් ෆේස් මාස්ක් තමා රූපලාවන්‍ය ලෝකයේ අලුත්ම ට්‍රෙන්ඩ් එක.

fb-like-beg


හැම කාන්තාවක්ම ෆේස් මාස්ක් පාවිච්චි කළ යුතුද? ඇත්තෙන්ම ඔව්. ෆේස් මාස්ක් වර්ග අනුව විවිධ අරමුණු සදහා ෆේස් මාස්ක් භාවිතා කරනවා. සමට පෝෂණය (Skin Nourishment) ලබා දීම, තෙතමනය රැක ගැනීම, වයසට යාමේ ලකුණු මතු වීම වලක්වා ගැනීම, අනවශ්‍ය තෙල් ඉවත් කිරීම, කුරුලෑ වැනි තත්වයන්ට ප්‍රතිකාරයක් ලෙස සහ අවුවෙන් හානි වුන සම නැවත යථාතත්වයට පත් කිරීම වගේ බොහෝ කාරනා සදහා විවිධ ෆේස් මාස්ක් යොදා ගන්න පුළුවන්. සමේ ඇති මැරුණ සෛල සහ වෙනත් අපිරිසිදු දේවල් ඉවත් කර ගැනීමටත් හොඳ වර්ගයේ ෆේස් මාස්ක් තිබෙනවා. ඒ වගේද ගෙදර සිටම ඔබට ස්පා එකක ඇති සැහැල්ලුව විඳගන්නත් හැකියි.

හැම ලස්සන ගැහැණියකගේම රූපලාවන්‍ය සත්කාර අතරේ දිනපතා, සති පතා වගේම මාස් පතා කරන සත්කාරත් තිබෙනවා. ෆේස් මාස්ක් එකක් කරන තරමට හොඳ වුනත් අපේක්ෂිත ප්‍රතිපලය ලබා ගන්න නම් අවම වශයෙන් සතියට දෙවරක් භාවිතා කළ යුතුයි. අපි දැන් බලමු මොනවද මේ විවිධ වර්ගයේ ෆේස් මාස්ක් කියල.


1) විවිධ වර්ගයේ ෆේස් මාස්ක්

• මැටි මාස්ක් (Clay Mask)

මැටි වල අඩංගු ස්වභාවික කොටස් වලින් නිපදවා ඇති ක්ලේ මාස්ක් තෙල් සහිත සමක් ඇති කෙනෙක්ට අමතර තෙල් සමෙන් ඉවත් කර ගැනීමට කදිමයි. එයින් සම ඉවත් වීමෙන් තොරවම අමතර තෙල් මාස්ක් එක මගින් උරා ගැනීමක් සිදු කරනවා.

• පීල් ඔෆ් මාස්ක් (Peel off Mask)

පීල් ඔෆ් මාස්ක් මගින් තාවකාලිකව සම ශක්තිමත් කරනවා. ඒ වගේම මුහුණේ රුධිර ගමනාගමනය වේගවත් කරනවා. මෙය වඩා සුදුසු වෙන්නේ පරිණත වුන වියලි සමකට. ජෙල්, ප්ලාස්ටික් , වැක්ස් හෝ පැරෆින් වැනි විවිධ ප්‍රබේධ මෙහි තිබෙනවා.

• උණුසම් මාස්ක් (Thermal Mask)

මේ මාස්ක් එක මුහුණේ ආලේප කළ පසු ටිකෙන් ටික රත් වෙනවා. එමගින් සම මතුපිට සෛල උණුසුම් කරලා සමේ රෝම කූප විවෘත කරනවා. සමට නිදහසේ හුස්ම ගන්න ඉඩ සලසනවා. රෝම කූප තුල ඇති අපිරිසිදු කොටස් ඉවත් කරනවා.

• ක්‍රීම් මාස්ක් (Cream Mask )

සම සුමුදු කරවන මෙම මාස්ක් ඔබේ මුහුණේ සම නැවුම්ව තබා ගන්න උපකාර කරනවා. මේ ෆේස් මාස්ක් එක සාමන්‍ය සහ වියලි සමක් ඇති හැමෝටම සමේ තෙතමනය රැක ගනිමින් සම නැවුම්ව තබා ගන්න උපකාර කරනවා.

• ස්වභාවික මාස්ක් (Natural Mask)

නැවුම් එළවලු පලතුරු වලින් හදන ෆේස් මාස්ක්. ගස්ලබු, පිපිඥ්ඥා, ඕට්ස් වගේ දේවල් දාල හදන ෆේස් මාස්ක්.


2) අලුත්ම පෙරළිකාරයා ශීට් ෆේස් මාස්ක් (Sheet Face Mask)

• ශීට් මාස්ක් (Sheet Mask) කියන්නේ මොනවද?

ශීට් මාස්ක් කියන්නේ මුහුණේ හැඩය ගත් ශීට් එකකින් නිර්මිත මාස්ක් එකක්. එය නොයෙක් පෝෂණ සංඝටක අඩංගු දියරයක එහෙම නැත්නම් Serum එකක ගිල්වලා මුහුණේ තියනවා. මේ ශීට් එක කඩදාසි, තන්තු, ජෙල්, රෙදි වැනි අමුද්‍රව්‍ය වලින් හදන්න පුළුවන්. නිෂ්පාදනෙන් නිෂ්පාදනෙට මෙය වෙනස් වෙනවා. මේ මාස්ක් එක අනික් මාස්ක් වලින් වෙනස් වෙනවා. එය භාවිතා කිරීම් පහසුයි. එක අසුරුමක් පාවිච්චි කළ හැක්කේ එක් වරයි. නැතහොත් විෂබීජ ශීට් එක මත වර්ධනය වී අහිතකර ප්‍රතිපල ඇති විය හැකියි.

• ශීට් මාස්ක් එකක් පාවිච්චි කරන්නේ කොහොමද?

හරිම ලේසියි. ශීට් එක ඔබට සපයා ඇති සීරම් එකෙන් පොඟවලා මුහුණ ආවරණය කරන්න. (ශීට් මාස්ක් එක සමග සීරම් එකත් ඔබට සැපයෙනවා) විනාඩි 20 ක් හෝ 30 ක් තියල ගලවා දමන්න. ඔබගේ කාර්ය බහුලකම එක්ක ගෙදර වැඩ අතරේ දාගෙන වැඩ කරන්න වුනත් පුළුවන් නිසා ශීට් ෆේස් මාස්ක් එක කියන්නේ අද කාලෙට වඩාම ගැලපෙන ක්‍රමයක්.

• ශීට් මාස්ක් පටන් ගත්තේ කොහෙන්ද?

දකුණු කොරියාවේ පටන් ගත්තත් දැන් එය ඇමරිකාව පවා ආක්‍රමණය කර තිබෙනවා. එහි ඇති පහසුව සහ ප්‍රතිපල දායක බව මීට හේතුවයි. ලොව පුරාම සුපිරි තරු ශීට් මාස්ක් වැඩි වැඩියෙන් භාවිතා කරන්නත් ඒ ගැන තම සමාජ ජාල ගිණුම් වල කතා කරන්නටත් පෙළඹිලා ඉන්නෙ එහි ඇති පහසුව සහ විශිෂ්ට ප්‍රතිඵල නිසාමයි.

• ශීට් මාස්ක් එක වැඩ කරන්නේ කොහොමද?

ශීට් එක සමත් එක්ක සම්බන්ධ වුන ගමන් සුළු වෙලාවක් ඇතුලත බාහිර සමේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒ සමග රෝම කූප හොඳින් ඇරෙන නිසා සීරම් එකේ ඇති පෝෂණ ද්‍රව්‍ය සම ඇතුලට වඩාත් පැතිරිලා කාවැදෙනවා. ඒ විතරද බොහෝ නිෂ්පාදන වල ඇති පෝෂණ ද්‍රව්‍ය වාෂ්පීකරණයට ලක් වුනත් මෙහි ඇති ශීට් මාස්ක් එක සම සහ වාතය අතර බාධකයක් ලෙස ක්‍රියා කරනවා. එමගින් සීරම් එකේ තිබෙන සේරම පෝෂණ ද්‍රව්‍ය අපතේ නොයා සම තුලටම පැතිරෙනවා. ශීට් මාස්ක් එක සත්කාර අතරින් වඩාම ඵලදායක සත්කාරය ලෙස සලකන්නේ මෙන්න මේ නිසයි.

• ශීට් ෆේස් මාස්ක් එකේ වාසි මොනවද?

මෙය පාවිච්චි කිරීම සහ සාදා ගැනීම ඉතාම ලෙහෙසියි. වෙනත් සත්කාර වලට වඩා මිලෙන් ගොඩක් අඩුයි. ඔබට වුවමනා ප්‍රතිපලය ලබා දෙන්නට සීරම් එකේ අඩංගු සංයෝග සමත් වෙනවා . කාර්ය බහුල ජීවිතේ එක්ක අඩු කාලෙකින් මේ සත්කාරය කළ හැකියි. ඒ වගේම ශීට් එක දාගෙන ඉන්න අතරතුර වෙනත් වැඩ වල යෙදෙන්නත් පුළුවන්.

මෙය සමේ අභ්‍යන්තරයට කා වැදිලා සම ඇතුලතින් පෝෂණය කරන නිසා ඉහළින්ම ඔබ බලාපොරොත්තු වෙන සත්කාරය සමට ලැබෙනවා. මේ හැමදේම සලකද්දී ශීට් මාස්ක් කියන්නේ ඉතාම වාසි දායක දෙයක් බව කිව හැකියි.

• සීරම් එකේ මොනවද අඩංගු වෙන්නේ?

බොහෝ විට එහි අඩංගු වෙන්නේ සමට සත්කාර කරන අමුද්‍රව්‍ය මගින්. මෙවැනි නිෂ්පාදන තෝරා ගනිද්දී හැම විටම කෝමාරිකා, කස්තුරි කහ, ඔලිවු තෙල් වගේ ස්වභාවික අමුද්‍රව්‍ය මගින් නිපදවා ඇති සීරම් එකක් ගැනීම නුවනට හුරුයි.

නොයෙක් ආකාරයේ ෆේස් මාස්ක් අතරේ සමේ ගැඹුරටම කා වදින, පාවිච්චිය පහසු, ඉක්මනින් ප්‍රතිපල ලබා දෙන, මිලෙන් ඉතාම අඩු ශීට් ෆේස් මාස්ක් ඔබේ රූපලාවන්‍ය සත්කාර අතරට හඳුන්වා දීම හොඳයි කියා හිතනවා. පාවිච්චියෙන් විශිෂ්ට ප්‍රතිපල අත් කර ගත හැකි සාර්ථක රූපලාවන්‍ය සත්කාරයක් ලෙස ශීට් මාස්ක් දැන් ලෝකය පුරා ප්‍රචලිත වෙමින් පවතිනවා.

SHARE