දිදුලන, පැහැපත් සමක් ලබා දෙනවා වගේම ඔබේ මුහුණේ සුන්දර යොවුන් බව හැමදාම රැක ගන්නත් සුදුසුම නවීන ක්‍රමයක් ලෙස Sheet Face Mask ශීට් ෆේස් මාස්ක් ගැන ඔබ දැනුමත් වෙලා ඇති. තාක්ෂණයේ දියුණුවත් එක්ක අපේ ජීවන තත්වය වඩාත් ඉහළට ගන්න අපි සමත් වෙනවා. අතීතයේ භාවිතා කළ ශාක සාර වල යහගුණය ඒ අයුරින්ම උකහාගෙන වඩාම ලේසි සහ ඵල දායක විදිහට අපේ සමට ලබා දෙන්න තිබෙන හොඳම ක්‍රමයක් තමයි ශීට් ෆේස් මාස්ක් එක කියන්නේ.


fb-like-beg


ශීට් මාස්ක් එක සාම්ප්‍රධායික ක්‍රම වලට වඩා කාර්යක්ෂමයි..

සෑම රූපලාවණ්‍ය නිෂ්පාදනයක්ම පාහේ සමේ ආලේප කිරීමෙන් පස්සේ වාශ්පීකරණයට හසු වෙනවා. ඉතාම මිල අධික නිෂ්පාදනයක් වුනත් වාශ්පීකරණයට අහු වුනාම එහි අඩංගු සංයෝග නිසි ලෙස සම එක්ක සංයෝග වෙන්නේ නැහැ. ශීට් මාස්ක් එකෙන් ලැබෙන වටිනාම ප්‍රයෝජනේ තමයි සීරම් එකේ අඩංගු ඔෂධීය සංඝටක වාෂ්පීකරණය වීමට වැලැක්වීම. ඒ නිසා වඩා හොඳින් උරාගන්නා පෝෂණයක් ඔබේ සමට ලබා දෙන්න ශීට් ෆේස් මාස්ක් එක සමත් වෙනවා.


ඒ වගේම සම මතට ශීට් එක සම්බන්ධ වීමේදී මද වෙලාවකින් සමේ උෂ්ණත්වය ඉහළ ගිහින් රෝම කූප හොඳින් විවෘත වෙනවා. එවිට සීරම් එකේ ඇති ඖෂධ සංයෝග වඩා පහසුවෙන් සම අභ්‍යන්තරයට ඇතුල් වෙනවා. මෙය සාමන්‍ය ක්‍රීම් වර්ග වලින් සමට දෙන පෝෂණයට වඩා වැඩි ප්‍රතිඵල අත් කර දෙන්නේ මෙන්න මේ නිසයි.

ශීට් ෆේස් මාස්ක් එක අනෙක් ෆේස් මාස්ක් වගේ සම වියලීම වැනි අහිතකර ප්‍රතිඵල වලින් සම්පූර්ණයෙන් තොරයි. එය සම ආරක්ෂා කරමින් වඩාත් සුමුදු ලෙස නිසි සත්කාර ඔබේ සමට ලබා දෙනවා.


ශීට් ෆේස් මාස්ක් එකේ කොටස්

1) දියරමය සීරම් එක ( Herbal Serum)

සාමාන්‍ය ශීට් ෆේස් මාස්ක් එකක් කොටස් දෙකකින් සමන්විතයි. එහි ඇති දියර අඩංගු සීරම් එකේ තමා ඖෂධීය සාරය අඩංගු වෙන්නේ. බොහෝ විට රුව රකින ශාකසාර ඖෂධ නවීන තාක්ෂණය හා මුසුකොට එහි ඇති වඩාම ප්‍රතිඵල දායක සංයෝග අධි මාත්‍රාවක් එක් කිරීමෙන් තමා මේ සීරම් එක හදන්නේ. ඒ වගේම සම පෝෂණය කරන විටමින් වර්ගත් මේ සීරම් එකට ඇතුල් කරනවා. අදාළ ඖෂධයට සහ එහි අඩංගු පෝෂණ සංඝටක වලට අනුව නිසි ප්‍රතිඵල ලබා දෙන්න මේ අධිමාත්‍රාවකින් යුතු සාරය සමත් වෙනවා. ශීට් මාස්ක් මිලට ගද්දි කෝමාරිකා, කස්තුරි කහ, කොහොඹ, වෙනිවැල් වගේ ස්වාභාවික සාරයන් අඩංගු නිෂ්පාදන මිලට ගැනීම වැදගත් බව අපි ඔබට මතක් කර සිටිනවා.

2) ශීට් මාස්ක් එක

ශීට් මාස්ක් එක තමා සීරම් එක ඔබේ සමට ලබා දෙන මාධ්‍යය වෙන්නේ. සීරම් එක වාෂ්ප වීමට ඉඩ නොදෙන්නෙත්, සමේ උෂ්ණත්වය වැඩි කරලා රෝම කූප ඇරෙන්නෙත් මෙන්න මේ ශීට් එක නිසාමයි. ඔබ කල්පනා කරනවා ඇති මොනවා වලින්ද මේ සීට් එක හදන්නේ කියල. Non-woven fiber, Cottons, Hydro gel සහ Bio cellulose කියන අමුද්‍රව්‍ය හතරෙන්ම ශීට් මාස්ක් හැදුවත් වඩා හොඳම අමුද්‍රව්‍යය ලෙස සැලකෙන්නේ Bio Cellulose. එය ස්වාභාවිකයි, සම එක්ක හොඳින් සම්බන්ධ වෙනවා, හොඳින් සීරම් එක උරා ගන්නවා ඒ වගේම පහසුවෙන් යොදන්න පුළුවන්. එම නිසා ඔබත් ශීට් මාස්ක් එකක් මිලට ගනිද්දී ශීට් එකේ අමුද්‍රව්‍යය Bio Cellulose ද කියල හොඳින් බලන්න අමතක කරන්න එපා.


ශීට් මාස්ක් එක පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙමයි

ඉස්සෙල්ලම ඔබේ මුහුණ ෆේස් වොෂ් එකක් දාල හොඳින් සෝදලා, තෙත මාත්තු කරගන්න. ඕනෙම රූපලාවණ්‍ය සත්කාරයකට (Beauty treatments) පෙර පිරිසිඳු කිරීම ගොඩක් වටිනවා.

1) සැශේ පැකට් එකේ තිබෙන සීරම් සේරම ෆේස් මාස්ක් ඇසුරුමේ තිබෙන ටබ් එකට දමන්න.

අපි උඩින් සදහන් කළා සීරම් එක වෙනම සැශේ පැකට් එකක එන්නේ කියල. ඔබේ මුහුණ ලස්සන කරන සේරම යහපත් අමුද්‍රව්‍ය තියෙන්නේ මේ අධි සාන්ද්‍රිත සීරම් එකේනෙ. ඉතින් ශීට් එකට මේ දේවල් උරා ගන්න නම් සීරම් එක ශීට් එක තිබෙන ටබ් එකට එකතු කරන්න ඕනේ.

2) සීරම් සේරම සම්පූර්ණයෙන්ම උරා ගන්නා තුරු ඉන්න.

සීරම් එක ශීට් එකට හොඳින් උරා ගත්තේ නැත්නම් අපරාදෙනේ. මේකට එතරම් වෙලාවක් ගත වෙන්නේ නැහැ. ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබන්න නම් සීරම් ඔක්කොම උරා ගන්නකම් ටිකක් ඉන්න.

3) ෆේස් මාස්ක් එක දිගහැර මුහුණට දමන්න.

ඉන් පස්සේ සීරම් එකෙන් පෙඟුණ ශීට් මාස්ක් එක දිගහැරලා ඔබේ මුහුණ මත යොදන්න. හරිම පහසුයි.

4) විනාඩි 15 කින් පමණ ගලවා දමන්න.

විනාඩි 15 යද්දී සීරම් එකේ තිබෙන සේරම ඖෂධ වල සාරය ඔබේ මුහුණේ සම ඇතුලටම පැතිරිලා ඉවරයි. ශීට් එක නිසා වාෂ්ප වෙන්නෙත් නැහැනේ. ඒ නිසා විනාඩි 15 ක් හොඳටම ඇති. ඉන් පස්සේ මාස්ක් එක ගලවලා නිසි ලෙස බැහැර කරන්න ඕනේ. සීරම් එකේ ඉතුරු කොටස් මුහුණේ රැඳී තිබෙනවා නම් ඔබට පිස දමන්නත් පුළුවන්. නැත්නම් ඒවා මුහුණට කා වදින තුරු එහෙම තියන්නත් පුළුවන්.


සාමන්‍යයෙන් ශීට් මාස්ක් එක කියන්නේ අනෙක් රූපලාවණ්‍ය සත්කාර එක්ක බලද්දී ගොඩක් කාර්යක්ෂම ඒ වගේම මිලෙන් අඩු සත්කාරයක්. රූපලාවණ්‍යවේදීන් නිර්දේශ කරනවා අපේක්ෂිත ප්‍රතිඵල ලබන්න නම් සතියකට දෙවරක් යෙදිය යුතුයි කියල. අවම වශයෙන් සතියට දෙවතාවක් පාවිච්චි කරන්න ඕනේ.

ශීට් මාස්ක් එකේ තිබෙන තවත් වාසියක් තමයි මාස්ක් එක දාගෙන වෙනත් වැඩ වල නිරත වීමේ හැකියාව. ඒ නිසා ඔබේ වටිනා කාලය අපතේ යන්නේ නැහැ. ඇමරිකාවේ බොහෝ වැඩකරන කාන්තාවෝ හවස ඇවිත් ගෙදර වැඩ වල නිරත වෙන අතරේ ශීට් මාස්ක් පාවිච්චි කරන බව හෙළි වෙලා තිබෙනවා. අනික මේවගේ සත්කාරයක් ගෙදරදීම කර ගන්න යන්නෙත් විනාඩි 15 ක් වගේ කාලයක් නෙ. හැබැයි මතක තියා ගන්න ශීට් මාස්ක් එකක් පාවිච්චි කළ හැක්කේ එක වරයි. ඉන් පසු එය ඉවත් කළ යුතුයි. ඒ වගේම මතක තබා ගන්න, ඔබේ මුහුණේ කුරුලෑ තිබෙනවා නම් ශීට් මාස්ක් එක යෙදීම සුදුසු නැහැ. කුරුලෑ සුව වුන පසුව පමණක් ශීට් මාස්ක් එකක් යොදන්න ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ.