සිගොඩක් දෙනෙක් හිතන්නේ හිස කෙස් වලට නිවැරදි ලෙස සාත්තු කරමින්, රැක බලා ගත් පමණින් සුන්දර කෙස් කළඹක් හිමි වන බවයි. නමුත් සමහර අවස්ථා වලදී කෙතරම් සාත්තු කළත් හිස කෙස් වල ඇති ගැටළු නැති වෙන්නේ නැහැ. බොහෝ විට එයට හේතුව සිරුර තුල සැඟවුණු සෞඛ්‍ය ගැටළුවක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අද අපි අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මේ ගැන ලිපියකුයි.


fb-like-beg


සජීවී පෙනුමක් නැති හිස කෙස්

හිස කෙස් වල ඇති සජීවී බව නැති වී යන්නට ප්‍රධාන වශයෙන්ම බලපාන හේතු වන්නේ නිසි සාත්තුවක් නොමැති වීම, උෂ්ණ රූපලාවන්‍ය උපකරණ වල බලපෑම ආදියයි. නමුත් සිරුරේ ඇති විටමින් ඌනතාවයක් මෙයට හේතු විය හැකියි. අජීවී පෙනුමැති හිස කෙස් ඔබේ සිරුරට සෙලනියම්, සල්ෆර් සහ පොස්පරස් අවශ්‍ය බව හඟවයි. මෙය තවදුරටත් අවධාරණය කර ගන්නට ඔබට පුළුවන් ඔබේ දත් සහ වීදුරු මස් හොඳින් පිරික්සන්න. බොහෝ විට ඒවායේත් ගැටළු තිබෙන්නට පුළුවන්. ඒ ඔබේ සිරුරේ ඇති විටමින් අඩුකම පෙන්වන ලක්ෂණයි. මෙවැනි තත්වයකදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි.

ඉස්සොරි

ඉස්සොරි ඇති වීමට හේතු ගණනාවක් බලපානවා. ඔබ ඔබේ හිස කෙස් වල ස්වභාවයට නොගැලපෙන ෂැම්පු වර්ග භාවිතා කරන විට ඉස්සොරි ඇති වී ඔබට අනතුරු අඟවනවා. ඔබ කාබෝහයිඩ්රේට් සහ මේදය අඩංගු ආහාර වැඩියෙන් ගන්නා විටත් ඉස්සොරි ඇති වෙනවා. මෙහිදී ඔබ ඔබේ ආහාර වේල ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම මානසික ආතතිය පිට දැමිමේදීත්, ගැස්ට්‍රයිටීස් රෝගය ඇති විටත්, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටළු ඇති විටත් ඉස්සොරි ඇති විය හැකියි. ඔබ කහ පැහැති ඉස්සොරි වලින් පීඩා විඳිනවා නම්, ඔබට Seborrheic dermatitis චර්ම රෝගය වැළඳී තිබිය හැකියි. එම රෝගය සුව කර ගන්නට සාමාන්‍ය ඉස්සොරි මර්ධක ෂැම්පු වලට බැහැ. ඔබ අනිවාර්යයෙන්ම චර්ම රෝග විශේසඥ වෛද්‍යවරයෙකු හමු විය යුතුයි.

දුර්වල, කැඩෙන සුළු හිස කෙස්

හිස කෙස් දුර්වල වීමට හේතු වන්නේ ප්‍රෝටීන් ඌණතාවයක් වෙන්න පුළුවන්. මිනිස් සිරුරේ වර්ධනයට ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. ඔබේ සිරුරට ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය මඳ වූ විට ඔබේ කෙස්, නියපොතු සහ සමෙහි තත්වය නරක අතට හැරෙනවා. මේ නිසා ප්‍රෝටීන් සහිත ආහාර ඔබේ ආහාර වේලට වැඩියෙන් එකතු කර ගන්න. ඇතැම් විට දුර්වල හිස කෙස් තත්වය Cushing’s disease රෝගයේ රෝග ලක්ෂණයක් වෙන්නත් ඉඩ තියෙනවා.

අසාමාන්‍ය ලෙස හිස කෙස් ගිලිහීම

දිනකට හිස කෙස් 100ක් පමණ වැටීම සාමාන්‍ය සිදුවීමක්. නමුත් හිස කෙස් එහා මෙහා කර බැලූ විට තට්ටය පෑදී ඇති ප්‍රමාණය වැඩි බව ඔබට වැටහෙනවා නම් එය අසාමාන්‍ය තත්වයක්. මෙසේ වීමට හේතුව අන්තරාසර්ග පද්ධතියේ හෝ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති ගැටළුවක් වෙන්න පුළුවන්. ඒ වගේම දියවැඩියා රෝගය ඇති වූ විටත් මෙම තත්වය උදා විය හැකියි. ඇතැම්විට මානසික ආතතිය නිසා හා විටමින් මඳ බව නිසාත් හිස කෙස් ගිලිහේ.  

තෙල් සහිත බව අධික හිස කෙස්

තෙල් බව වැඩි හිස කෙස් වලින් ඔබේ ආහාර වේලේ ඇති වැරදි හෙළි කරනවා. ඔබ ආහාර සඳහා එක් කර ගන්නා සත්ව මේද ප්‍රමාණය වැඩි වූ විට හිස කෙස් වල ඇති තෙල් සහිත බවත් වැඩි වෙනවා. මෙවැනි තත්වයකදී තෙල් අධික ආහාර, සිනි අධික ආහාර, කෝපි සහ මත්ද්‍රව්‍ය අඩු කිරීමෙන් සහනයක් ලබා ගත හැකියි. මීට අමතරව ඔබේ පරිවෘත්තිය ක්‍රියාවලියේ ඇති වරදක්, හෝර්මෝන අසමතුලිතතාවයක් හෝ අක්මාවේ ඇති යම් ගැටළුවක් නිසාත් හිස කෙස් වල ඇති තෙල් ස්වභාවය ඉහල යන්න පුළුවන්.

අකලට හිස කෙස් පැසීම

වයස්ගතවීමත් සමඟ හිස කෙස් පැසීම සාමාන්‍ය වුවත්, අකලට හිස කෙස් පසෙනවා නම් ඔබ ටිකක් ඒ ගැන අවධානය යොමු කල යුතුයි. මානසික ආතතිය, Chronic Fatigue රෝගය සහ ප්‍රෝටීන් ඌණතාවය නිසාත් හිස කෙස් අකලට පැසී යා හැක. මෙවැනි තත්වයන් ඔබේ සිරුරේ මෙලනින් වර්ධනය වීමට හානි කරනවා.

              

SHARE