ගැහැණු ළමයි ෆැෂන් කරන තරම් උනන්දුවෙන් පිරිමි ළමයි ෆැෂන් කරන්නේ නැහැ නේද? සමහර විට ඔබේ පෙම්වතාත් ෆැෂන් කෙරෙහි උනන්දුවක් නැතිව ඇති. ඒත් ඔහු ලස්සනට ඇඳ පැළඳගෙන ඉන්නවා නම් ඔබත් කැමති ඇති. පිරිමින්ට මේ බව කියලා තේරුම් කරන්න නම් අමාරුයි. මේ වැඩේ කරන්න ඕනේ බොහොම උපක්‍රශීලිවයි. ඉතින් අද අපි අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන උපදෙස් කීපයක් ඔබ වෙත ගෙන එන්න තීරණය කළා.


fb-like-beg


1 ඔහු අඳින පළඳින ආකාරය ගැන අවධානයෙන් සිටින්න

ඔබට අවශ්‍ය ආකාරයට ඔහුව වෙනස් කිරීමට උත්සාහ කිරීමට කලින් ඔහු අඳින පළඳින ආකාරය ගැන අධ්‍යනය කරන්න. ඔහු යම් විලාසිතාවක් කරනවාද, ඒවා ඔහුගේ සිරුරේ ස්වභාවයට ගැලපෙනවාද, ඔහු අනුගමනය කරන විලාසිතාවන් වලට ඔහු කැමැත්තක් දක්වන්නේ ඇයිද යන්න සොයා බලන්න. ඔහු දැනට කරන විලාසිතා වලට ඔබේ කැමැත්තක් නැති වුවත්, එම විලාසිතා ඔහුට ගැලපෙනවා නම් ඔහුව වෙනස් කිරීමට යන්න එපා. පිරිමින් තමාට යමෙකු යම් දෙයක් කිරීමට බල කරනවාට අකමැති බව වටහාගෙන උපායශීලි වන්න.

2 ඔහුගේ ශරීර ස්වභාවයට ගැලපෙන විලාසිතාවන් ගැන සොයා බලන්න

තරුණයන් සඳහා වෙන් වුනු පුවත්පත්, සඟරා සහ අන්තර්ජාල වෙබ් අඩවි වලින් ඔබේ පෙම්වතාගේ ශරීර ස්වභාවයට ගැලපෙන විලාසිතා සහ ඔබේ පෙම්වතාගේ සමේ වර්ණයට ගැලපෙන වර්ණයන් ගැන අධ්‍යනය කරන්න.

3 ඔබේ පෙම්වතා කැටුව ෂොපින් කරන්නට යන්න

ඔහුගේ ඇඳුම් වලට බැන වැදීම හෝ ප්‍රතික්ෂේප කිරීම වෙනුවට උපක්‍රමශීලිව ඔහුට නව විලාසිතා සහිත ඇඳුම් හුරු කරවීමට මේ ක්‍රමය අනුගමනය කරන්න. ඔබ අලුත් අවුරුද්ද, ඔහුගේ උපන්දිනය වැනි අවස්තාවක් තෝරාගෙන ඔහුව රෙදි මිලදී ගැනීම සඳහා රැගෙන යන්න. ඔබේ අරමුණ ඔහුට ඇඳුම් මිලදී ගැනීම බව කලින් පවසන්නත් එපා. ඔබ වෙනුවෙනුත් ඇඳුමක් මිලදීගෙන, මීළඟට ඔහුට ඇඳුම් තෝරන්න. එය ඔබ විසින් ඔහුට ලබා දෙන ත්‍යාගයක් බව පවසන්න.

4 ඔහුට තෑගී ලබා දෙන අවස්ථා වලදී ඇඳුම් ලබා දෙන්න

ඔහු ෂොපින් කිරීමට අකමැති අයෙක් නම් ඔබට පුළුවන් ඔහුට ඇඳුම් මිලදී ගෙන ලබා දෙන්න. වෙනත් ත්‍යාග ලබා දෙනවා වෙනුවට ඔහුට හොඳින්ම ගැලපෙන ඇඳුම්, ඔරලෝසු, ටයි පටි සහ සපත්තු ලබා දෙන්න.

5 ඔහුව අගය කරන්න

ඔහු ඔබ ලබා දෙන ඇඳුම් අඳින විට ඔහුව අගය කරන්න. ඔහුගේ ජායාරුප ගෙන ඔහුට පෙන්වන්න. එපමණක් නෙවෙයි, ඔහු ඔහුට ගැලපෙන යම් විලාසිතාවක් කරන විටත් ඔහුව අගය කරන්න. ඔහුව ලස්සනට පෙනෙන බව ඔහුට පවසන්න.

6 උත්සව අවස්තාවන් වලට සහභාගී වීමට ඔහුව පොළඹවන්න

සමහර පිරිමි අය කොහේ ගියත් අඳින්නේ ඩෙනිමයි, ටීෂර්ට් එකයි විතරයි. නමුත් උත්සව අවස්තාවන් වලට සහභාගී වීමේදී ඒ විදිහට යන්න බැහැ. ඉතින් විලාසිතා කිරීමට ඔහු තුල ආසාවක් ඇති කරන්නට තවත් හොඳ ක්‍රමයක් තමයි මේක. පවුලේ උත්සව වලට, ඔබ දෙදෙනාගේ මිතුරන්ගේ උත්සව වලට සහභාගී වන්නට ඔහුව පොළඹවන්න. එවිට අනිවාර්යයෙන්ම ඔහු විලාසිතා කිරීමට උනන්දු වෙනවා. ඒ විතරක් නෙවෙයි, බොහෝ විට හොඳ විලාසිතාවක් තෝරා ගන්න ඔහු ඔබේ උදව් පතාවී.

7 ඔහුගේ ඇඳුම් වල ඇති අඩුපාඩු සකසා ගන්න උදව් කරන්න

ඔහුට ගැලපෙන ඇඳුම් වල වුවත් බොත්තම් ගැලවී තිබීම වැනි ගැටළු තිබිය හැකියි. ඒවා සකසා ගැනීමට උදව් කරන්න. බොහෝ පිරිමි අය ගැලවුණු බොත්තම් සහිතවම ඇඳුම් අඳින්නේ ඒවා මසා ගැනීමට ඇති කම්මැලිකම නිසායි.

8 ඔහුට නොගැලපෙන ඇඳුම් ඉවත් කිරීමට ඔහුව එකඟ කර ගන්න

හැබැයි මේ වෙද්දී ඔබ ඔහුට අලුත් ඇඳුම් කීපයක්වත් ත්‍යාග කර තිබිය යුතුයි. ඒ වගේම ඔහු ඒවාට කැමති වී තිබීමත් වැදගත්. ඊළඟට ඔබට පුළුවන් ඔහුට නොගැලපෙන ඇඳුම් ඉවත් කිරීමට ඔහුට යෝජනා කරන්න. ඔහුට නොගැලපෙන ඇඳුම් කාට හෝ ලබා දෙන්නට කටයුතු සලසන්න. එවිට ඒවා විසි කරන්නට වීම ගැන ඔහුට දුකක් දැනෙන එකකුත් නැහැ.  

    

 

SHARE