හැම කාන්තාවකගේම සිහිනය සුන්දර මුහුණක් ලබා ගැනීමයි. කාන්තාවන් තම රූමත් බව වැඩි කර ගැනීමට උත්සාහ කිරීමේදී, ප්‍රධාන ස්ථානයක් ලබා දෙන්නේ මුහුණේ සම පැහැපත් කර ගැනීමට පමණයි. මුහුණ කියන්නේ එක් ඉන්ද්‍රියයක් නොව, ඉන්ද්‍රියයන් රැසක එකතුවකුයි. ඉතින් මුහුණේ සම පැහැපත් කර ගැනීමට පමණක් වෙහෙසෙනවාට වඩා මේ සියලු ඉන්ද්‍රියයන් සුන්දර කර ගැනීමට උත්සාහ දැරිය යුතුයි. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබට සොඳුරු මුහුණක් හිමි කර ගන්නා ආකාරය කියා දෙන්නට.


fb-like-beg


මුහුණේ සුන්දරත්වය ගැන සිතන ඔබ අවධානය යොමු කළ යුතු අවයව

  • නළල
  • ඇහිබැම
  • ඇහි පිහාටු
  • ඇස් දෙක
  • නාසය
  • දෙතොල
  • කම්මුල්
  • නිකට
  • මුඛය
  • දත්
  • කන්
  • මුහුණේ සම  

නළල

  • නළල බොහෝ විට විවිධ ආසාදන වලට ලක් වෙනවා. ඉස්සොරි වල බලපෑම නිසා නළලේ කුරුලෑ ඇති වීමේ ඉඩකඩ වැඩියි.
  • ඔබ නිතරම නළලේ අඩක් වැසෙන සේ කොණ්ඩා විලාසිතා දමනවා නම් සැලකිලිමත් විය යුතු විශේෂ කරුණක් තිබෙනවා. ඔබ හිරු එලියට නිරාවරණය වීමෙන් නළලේ කොණ්ඩයට වැසුණු ස්ථානයේ වර්ණය සහ මුහුණේ අනෙක් ස්ථාන වල වර්ණය වෙනස් වී මුහුණ අවලස්සන වීමේ අවදානමක් තියෙනවා.
  • නොසැලකිලිමත් ලෙස මුහුණ සේදීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ කාන්තාවන්ගේ  නළල දාරය හොඳින් සේදෙන්නේ නැහැ. නළල දාරයේ නොසේදී ඉතිරි වන කුණු, දුවිලි, ගැල්වූ ආලේපන සහ මේක් අප් වල බලපෑම නිසා කුරුලෑ සහ බිබිලි ඇති වෙනවා. මෙම බිබිලි කාලයත් සමඟ මුහුණ පුරා පැතිර යනවා.
  • නළලට තිලක තැබීමෙනුත් විවිධ ආසාදන ඇති වෙන්න පුළුවන්.

ඇහිබැම

  • අක්‍රමවත් ඇහිබැමක් නිසා දෙනෙත් වල තිබෙන සුන්දරත්වය නොපෙනී යනවා. ඒ නිසා ඇහිබැම කලාත්මකව සකසා ගැනීමෙන් කාන්තාවකගේ සුන්දරත්වය වැඩි කර පෙන්වන්න පුළුවන්.

දෙනෙත්

  • නිදි මැරීම නිසා දෙනෙත් වල දීප්තිමත් බව අඩු වෙනවා. ඒ නිසා ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.
  • අඳුරේ පොත් පත් කියවීම නිසාත් දෙනෙත් අඳුරු පැහැ ගැන්වෙනවා.
  • සමන් පිච්ච මල් පෙඟවූ වතුර, තැඹිලි වතුර වලින් පුරුද්දක් ලෙස ඇස් සෝදන්න. එමඟින් දෙනෙත් වල පෙනුම දීප්තිමත් වේ.
  • තේ කොළ මන්ඩි වලින් සැකසූ පොට්ටනියක් හෝ පිපිඤ්ඤා පෙති ඇස් මත තබා ගැනීමෙනුත් දෙනෙත් ලස්සන කර ගන්න පුළුවන්.
  • ඇස් වලට සතියකට වතාවක් ව්‍යායාම් සිදු කිරීමෙන් ඇස් වල පෙනුම නිරෝගී වෙනවා.
  • භාවිතා කරන අයි ෂැඩො, අයි ලයිනර්, මස්කාරා යනාදිය කල් ඉකුත් වී ඇත්ද යන්න ගැන පරීක්ෂාවෙන් සිටින්න.

කම්මුල්

  • කම්මුල් සුන්දර වන්නේ පිරී ඇති විටයි. කම්මුල් වල මාංශ පේශීන් ඉතාමත් සංවේදීයි. අධික ලෙස නිදි වැරීම, නිරාහාරව සිටීම, අධික ලෙස කේන්ති ගැනීම, නිතර කල්පනා කිරීම, අධික ලෙස කෑ ගැසීම, දුම් පානය, බුලත් සහ මත්පැන් භාවිතය, දවල් වරුවේ නිදා ගැනීම, දත් දිරා යාම වැනි හේතූන් නිසා කම්මුල් අකලට වැහැරී යනවා.
  • ඉහත වැරදි පුරුදු වලින් මිදීමෙන්, නිදා ගැනීමේදී මුහුණ උඩු අතට තබා ගැනීමෙන්, කම්මුල් වලට අත් තබා තද නොකිරීමෙන් සහ ක්‍රීම් වර්ග උඩු අතට පමණක් ගැල්වීමෙන් කම්මුල් වල පිරුණු බව ආරක්ෂා කර ගන්න පුළුවන්.

දෙතොල්

  • දෙතොල් දුර්වර්ණ වීම කාන්තා මුහුණේ සුන්දරත්වය අඩු කරනවා. දෙතොල් ඉක්මනින් වියැලෙන අතර පැලෙන අවස්ථාවන්ද තිබෙනවා.
  • රාත්‍රී කාලයේ ඔලිව් තෙල්, විටමින් E ක්‍රීම් තොල් මත ආලේප කිරීමෙන් තොල් ලස්සන කර ගන්න පුළුවන්.

දත්

  • කතා කිරීමේදී සහ සිනා වීමේදී ඔබේ දත් අන් අයට පෙනෙනවා. මේ නිසා දත් වල පෙනුම ආරක්ෂා කර ගැනීමට උත්සාහ කිරීම ගොඩාක් වැදගත්.
  • උනන්දුවෙන් දත් නොමැදීම නිසා දත් දිරා යෑම, දත් මුල් දියවීම, වීදුරු මස් දිය වීම, දත් අව පැහැ වීම වැනි අහිතකර ප්‍රතිඵල අත් වෙනවා.
  • හක්කේ දත් පිටතට නොපෙනුනත් ඒවා ආරක්ෂා කර ගත යුතුය. එයට හේතුව වන්නේ දිරා ගිය හක්කේ දත් ගලවා දැමීමෙන් කම්මුල් හැකිලී, මුහුණේ සුන්දරත්වය අඩු වීමයි.

කන් සහ නිකට

  • නෑමේදී කන් පෙති හොඳින් සෝදා ගත යුතුයි. මුහුණට කරන සත්කාර ඒ ලෙසම කන් පෙති වලටත් කළ යුතුයි.
  • නිතරම අත් නිකටට තබාගෙන තද කරගෙන සිටීමෙන් වලකින්න.
SHARE