රූමත් වෙන්න අකමැති කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ ආශාව ඈත අතීතයේ සිටම පැවත එන ආශාවක්. මේ ආශාව වෙනුවෙන් අතීතයේ විසූ ලඳුන් විවිධ ස්වභාවික උපක්‍රම අනුගමනය කරනවා. නූතන ලඳුන් ආලේප කළ හැකි හොඳම දේ සොයමින් මේ ආශාව මුදුන්පත් කර ගන්න වෙහෙසෙනවා. ඒත් විවිධ ක්‍රම අනුගමනය කරලා තාවකාලික සුන්දරත්වයක් ලබා ගන්න කලින්, තමන්ට හිමි රුව රැක ගන්න ක්‍රමය ගැන goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා කතා කරන්න අද අපි තීරණය කළා.


fb-like-beg


  • ඇත්තටම රූපලාවන්‍ය රැකගැනීම කියන්නේ මුහුණේ කුමක් හෝ ආලේප කර පැහැපත් වෙන්න උත්සාහ කරන එක නෙවෙයි. සැබෑ රූපලාවන්‍යය කියන්නේ හිසේ සිට දෙපා දක්වා ඇති රූමත් බව ආරක්ෂා කර ගැනීමට උත්සාහ කිරීමයි.
  • තමා උපතින් ලද රූපලාවන්‍ය රැකගැනීම වෙනුවෙන් කැප වෙන්නට සිදු වෙනවා. අනුන් රූපය රැක ගැනීම වෙනුවෙන් අනුගමනය කරන දේ, ඔබත් අනුගමනය කිරීමෙන් පලක් වන්නේ නැහැ. ඔබ කළ යුත්තේ ඔබට ගැලපෙන දෙයයි.
  • තමන්ට හිමි රූමත් කම රැක ගැනීමට නම් තමන්ගේ පිරිසිඳුකම, සෞඛ්‍යය, ආලේපන, ඇඳුම් හා ලබා ගන්නා ආහාර කියන කරුණු ගැන වඩාත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි.

පිරිසිඳුකම රැක ගැනීම

පිරිසිඳුකම කියන්නේ රූමත් බව රැක ගන්න හොඳ මාර්ගයක්. ශරීරයේ සෑම බාහිර අවයවයක්ම පිරිසිඳුව තබා ගැනීමෙන් තමන්ගේ නීරෝගී බව රැක ගන්න පුළුවන්. සම අවලස්සන කරන කුරුලෑ, බිබිලි, දද සහ කුෂ්ඨ ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ අපිරිසිඳු කමයි. ශරීරය පිරිසිඳු කිරීමේදී, විශේෂයෙන් අවධානය යොමු නොවන යටිපතුල්, කන් පෙති, කකුලේ නියපොතු පවා පිරිසිඳු කර ගැනීමට සැලකිලිමත් විය යුතුයි.

ශරීරයට අමතරව ඔබ අඳින ඇඳුම් සහ යට ඇඳුම්, පනා, පාවිච්චි කරන තුවා, ඇඳ ඇතිරිලි ආදිය පිරිසිඳුව තබා ගැනීමෙනුත් සම මත ඇති වන ආසාදන වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම ඒවා පෞද්ගලිකව තබාගත යුතුයි. නැතිනම් ඒවා හරහා රෝග බෝ වීමේ අවදානමක් තියෙනවා.


සෞඛ්‍යය

රූපය රැක ගැනීමේදී ශාරිරීක සෞඛ්‍යය වගේම, මානසික සෞඛ්‍යයත් ගොඩාක් වැදගත්. ශාරීරීක සෞඛ්‍යය රැක ගැනීමට නම් සිරුරට හිතකර ආහාර ගැනීමත්, නිතිපතා ව්‍යායාම කිරීමත්, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමත්, ජලය නිසි ප්‍රමාණයෙන් ලබා ගැනීමත් සිදු කළ යුතුය. දිනපතා ව්‍යායාම කිරීමට හුරු වීම ශරීරයේ බර අඩු කර ගැනීමටත්, රෝග සුව කර ගැනීමටත්, ශරීරය තුල ඇති අපද්‍රව්‍ය දහදිය මඟින් පිට කිරීමටත් උපකාරී වෙනවා. ව්‍යායාම කිරීමේදී එයට ගැලපෙන ඇඳුම් කට්ටලයකින් සැරසීමත් වැදගත්. මානසික සෞඛ්‍යය රැක ගැනීමට භාවනා කිරීම හොඳ මාර්ගයක්. මානසික ආතතියෙන් මිදීමත් ඔබේ රූපය සුන්දර කර ගැනීමට හොඳ ක්‍රමයක් වෙනවා.


ආලේපන

ආලේපන භාවිතා කිරීමේදී ඒවායේ අඩංගු අමුද්‍රව්‍ය පරීක්ෂා කිරීම ඉතා වැදගත්. රසදිය සහිත ආලේපන සති දෙකක් වැනි කෙටි කාලයක් ඇතුලත සම පැහැපත් කරදීමට සමත් වූවත්, පසුකාලීනව සම දරුණු ලෙස විනාශ කරවනවා. සමේ ආසාදන සහ පිළිකා ඇති වීමටත් ඇතැම් ආලේපන හේතුවක් වෙනවා. මේ නිසා හැකි තරම් ස්වභාවික ද්‍රව්‍ය යෙදු ආලේපන මිලදී ගන්න. එමෙන්ම සමේ ස්වභාවයට නොගැලපෙන ආලේපන වර්ග භාවිතා කිරීමෙන්, සමේ අසාත්මිකතා ඇති වීමට ඉඩ තියෙනවා. එමෙන්ම ආලේපන තෝරා ගැනීමේදී අපේ රටේ දේශගුණයට ගැලපෙන ආලේපන තෝරා ගැනීමත් වැදගත් වෙනවා. යුරෝපය වැනි සීතල රටවලට ගැලපෙන ආලේපන වර්ග අපේ රටේ දේශගුණයට ගැලපෙන්නේ නැහැ.


ඇඳුම්

ඇඳුම් මඟින් විලාසිතා කිරීමෙන් ඔබේ රුව ඔප් නංවන්න පුළුවන්. නමුත් ඔබේ ශරීරයේ ස්වභාවය අනුව, සහභාගී වන අවස්ථාව අනුව ඔබ තෝරා ගත යුතු ඇඳුම වෙනස් වෙනවා. ඔබේ සිරුරේ පැහැයට ගැලපෙන වර්ණ වලින් ඇඳුම් තෝරා ගැනීම මඟිනුත් ඔබේ රුව ඉස්මතු කර පෙන්වන්න පුළුවන්.


ආහාර

කෘතීම ආහාර සිරුර රෝගී කරවනවා. නිසි පෝෂණය අහිමි වුණාම සමේ විවිධ ආසාදන ඇති වෙනවා. මේ නිසා සමබල ආහාර වේලක් සමේ නිරෝගී පෙනුම රැකගන්න උපකාරී වෙනවා. නිසි ප්‍රමාණයෙන් ආහාර ගැනීමත් සිරුරේ හැඩය ආරක්ෂා කර ගන්න උදව් වෙනවා. තෙල්, පිෂ්ඨය, සීනි රහිත ආහාර පරිභෝජනය කිරීම ලෙඩ රෝග රැසකින් ඔබව මුදවන අතර, ඔබේ රූපය ආරක්ෂා කර දෙනවා.

SHARE