දෑ

ත කියන්නේ ඔබේ සිරුරේ වැඩියෙන්ම වැඩ කරන ඉන්ද්‍රිය කියලා කිව්වොත් නිවැරදියි. ඔබට අවශ්‍ය හැම දෙයක්ම බැහැයි නොකියා කරලා දෙන ඔබේ දෑත් වලට හොඳින් නොසැලකුවොත් ඒවායේ ප්‍රයෝජනවත් බව අඩු වෙන්න පුළුවන්. ඔබේ සමස්ත සිරුරේ සුන්දරත්වය රැක ගන්නට නම්, ඔබේ දෑත් වල සුන්දරත්වය ගැනත් ඔබ සැලකිලිමත් විය යුතුයි. මේ ලිපියේ සඳහන් දේවල් කරන්න කිසිම අමාරුවක් නෑ, වැඩිපුර වෙලාවක් ගත වෙන්නෙත් නැහැ. එදිනෙදා ජිවන රටාව තුලදී මේ පියවර කීපය අනුගමනය කරන්න තමයි ඔබට තිබෙන්නේ.

 


fb-like-beg


ඔබ ඔබේ දෑත් වලට අවශ්‍ය රැකවරණය ලබා නොදීමෙන් අත් විය හැකි අහිතකර ප්‍රතිඵල

  • දෑත් දුර්වර්ණ වීම
  • නියපොතු දුර්වල වීම, කඩතොළු වීම සහ කැඩී යාම
  • දෑතේ සම වියලීම
  • දෑත දිලිර ආසාදනයන්ට ලක් වීම
  • අල්ල පැලීම හෝ කොරල ස්වභාවයක් ගැනීම
  • ඇඟිලි කරු අතර තුවාල ඇති වීම

 

නිතරම ඔබේ දෑත් වල පිරිසිඳු බව ගැන සිතන්න

ඔබ හැම වැඩක්ම කරන්නේ ඔබේ අත් දෙකෙන්. විවිධ දේවල් ස්පර්ශ කිරීමෙන් පසුව ඔබ ඔබේ දෑත් හොඳින් සබන්/ හෑන්ඩ් වොෂ් ගා සෝදා ගත යුතුයි. ඔබේ දෑත් වල පිරිසිඳු බව ගැන ඔබ සැලකිලිමත් නොවුනොත්, ඒවා දිලිර ආසාදනයන්ට පවා ලක් වෙන්න පුළුවන්. පිරිසිඳු පෙනුමකින් යුක්ත වූ දෑතක් ඔබේ රුවට එක් කරන්නේ ආඩම්භරයක්.

 

නියපොතු පවිත්‍ර කරන්න

ඔබ නියපොතු වැව්වත්/ නැතත්, ඒවායේ නිය ආලේපන ගැල්වුවත්/ නැතත් ඒවායේ පිරිසිඳු බව ගැන නිතරම සිතන්න. උදේ සහ සවස බුරුසුවක් යොදා නියපොතු මැද ගන්න. අපිරිසිඳු පෙනුම නිය ආලේපන මඟින් සඟවන්න බැහැ. ඔබ නිය අලංකරණය ගැන වෙහෙසෙන කෙනෙක් නෙවෙයි නම්, නියපොතු ඔහේ වැවෙන්නට නොදී සම මට්ටමකට කපා ගන්න. කඩතොළු සහිත, විවිධ උසින් යුතු නියපොතු හිමි වීමෙන් දෑත් අවලස්සන වෙනවා. ඔබ නිය අලංකරණය ගැන වෙහෙසෙන කෙනෙක් නම් ඔබේ සැමට/ ඇඳුමට ගැලපෙන සේ නිය ආලේපන ගල්වන්න.

 

උණු වතුරෙන් දෑත් සෝදන්න එපා

සමහරුන් පුරුදු වෙලා ඉන්නවා උණුසුම් ජලය භාවිතා කරලා දෑත් සෝදන්න. ඒත් එම පුරුද්ද නිසා ඔබේ දෑතේ සම මඟින් ස්වභාවික මේදය නිපදවීමේ ක්‍රියාවලියට හානි සිදු වෙන්න පුළුවන්. එම නිසා ඔබේ දෑත වියලි ස්වභාවයක් පෙන්නුම් කෙරෙනවා.

 

සැර සබන් වර්ග භාවිතයේදී අත්වැසුම් පළඳින්න

නිවසක ගෘහනියක් වුනාම සැර සබන් වර්ග භාවිතා කරන්නටම සිදු වෙනවා. වළන් පිඟන් මෙන්ම, රෙදි සේදීමේදීත් ඔබට සැර සබන් වර්ග භාවිතා කිරීමට සිදු වීම වලක්වන්න බැහැ. නමුත් මෙයින් සිදු වන්නේ ඔබේ දෑත් අවලස්සන වීමයි. මේ නිසා එවැනි කාර්යයන් වල නිරත වීමේදී අත් වැසුම් භාවිතා කරන්නට උත්සාහ කරන්න.

 

සැර සබන් භාවිතා කිරීමෙන් පසුව ප්‍රතිකර්ම යොදන්න

එවැනි සැර සබන් භාවිතා කිරීමෙන් අනතුරුව මෘදු හෑන්ඩ් වොෂ් එකක් දමා දෑත් සෝදන්න. සැර සබන් වැඩි වෙලාවක් දෑතෙහි රැඳෙන්නට දෙන්න එපා. ඒවා ස්පර්ශ කල පසු සමෙහි බොහෝ විට සියුම් වේදනාවක්, කැසිල්ලක් වැනි ස්වභාවයක් ඇති විය හැකියි. රාත්‍රියේදී හෝ විවේකි අවස්තාවලදී දෑත් වල ඔලිව් තෙල් ගල්වා තබන්න.

 

අත් වල තෙතමනය රැක දෙන්න

අත් වල තැවරෙන දේවල ඇති රසායනික සංයෝග අනුව දෑත් වල තෙතමනය අඩු වී, වියලි ස්වභාවයකට පැමිණිය හැකියි. මේ තත්වය නැති කර ගැනීමට ඉහල ප්‍රමිතියකින් යුතු මොයිස්චරයිස් ක්‍රීම් එකක් ගැල්වීම, ඖෂධීය තෙල් වර්ග ගැල්වීම වැනි ක්‍රියාවලින් පුළුවන්. මෙවා ගැල්වීමට රාත්‍රී කාලය තෝරා ගැනීම ඉතා සුදුසුයි. ඒ නින්දට යාමත් සමඟ අත් වලට නිදහස ලැබෙන නිසායි.

 

අව්වට යන විට සන් ක්‍රීම් ගල්වන්න

ඔබ සන් ක්‍රීම් ගලවන්නේ මුහුණේ පමණක් වෙන්න පුළුවන්. බොහෝ අයගේ මුහුණේ පැහැයට සාපේක්ෂව දෑත් වල පැහැය අඩුයි. එයට හේතු වන්නේ අත් වලට අව්ව වැටීම නිසා, සම දුර්වර්ණ වීමයි. මේ නිසා හිරු එලියට නිරාවරණය වන විට ඔබේ දෑත් වලත් සන් ක්‍රීම් ගල්වන්නට පුරුදු වන්න. 

 

SHARE